රට අද විනාශ වෙන්නෙ ආණ්‌ඩුවෙම පන්දම්කාරයො හින්දයි!

-ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ එස්‌. එල්. ගුණසේකර උතුර හා නැගෙනහිර දෙපළාත යළි එකතු කරන ලෙසත් ඉඩම් සහ පොලිස්‌ බලතල ලබාදෙන ලෙසත් ද්‍රවිඩ ජාතික සන්ධානය ක...

-ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ එස්‌. එල්. ගුණසේකර
උතුර හා නැගෙනහිර දෙපළාත යළි එකතු කරන ලෙසත් ඉඩම් සහ පොලිස්‌ බලතල ලබාදෙන ලෙසත් ද්‍රවිඩ ජාතික සන්ධානය කර ඇති ඉල්ලීම රජය ප්‍රතික්‍ෂේප කර තිබේ. ද්‍රවිඩ සන්ධානය උත්සාහ දරන්නේ එල්.ටී.ටී.ඊ.ය තුවක්‌කුව පෙන්වා ඉල්ලූ බලය පෑනෙන් අත්සන් කර ලබා ගන්නද? ද්‍රවිඩ සන්ධානය සමඟ සාකච්ඡා කර විස¹ ගැනීමට ඇත්තේ කුමක්‌ද? ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ එස්‌. එල්. ගුණසේකර කරන විග්‍රහයකි මේ.

දෙමළ ජාතික සන්ධානය සමඟ රජය පවත්වන සාකච්ඡා පිළිබඳ ඔබේ අදහස කුමක්‌ද? 
අපේ රටේ දෙමළ ජනතාවට විතරක්‌ නෙවෙයි සිංහල, මුස්‌ලිම්, බර්ගර් ඇතුළු හැම ජාතිකයකුටම ප්‍රශ්න තිබෙනවා. ඊයෙ පෙරේද පිටකොටුවෙ මහ විශාල උද්ඝෝෂණයක්‌ තිබුණෙ සිංහල ජාතිකයන්ගෙ. සිංහල ගොවියන්ගෙ. අපේ රටේ මේ තියෙන්නෙ ජනවාර්ගික ප්‍රශ්නයක්‌ නෙවෙයි. සිංහලයන්ටත් මේ රටේ ප්‍රශ්න තිබෙනවා. ඔවුන්ටත් දේශපාලන විසඳුමක්‌ දෙන්න කියල කියන්න පුළුවන්ද? අපේ රටේ හැමෝටම මේ තියෙන ප්‍රශ්න විසඳන්න ඕන ජාතික රාමුවක්‌ තුළයි. සිංහලයන්ගෙ බඩගින්න නිවල දෙමළ අයයි මුස්‌ලිම් අයයි බඩගින්නෙ තියන්න බෑ.
දෙමළ ජාතික සන්ධානය මේ රටේ දෙමළ ජනතාවට ප්‍රශ්න තිබෙනව ඒකට දේශපාලන විසඳුමක්‌ ඕන කියන්නෙ වෙන මොකකටවත් නෙමෙයි ඒ අයට දේශපාලන භූමියේ තැනක්‌ ඕන හින්ද. මේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයක්‌ නෑ. දෙමළ අයටත් තියෙන්නෙ අනිත් ජාතීන්ටත් තියෙන ප්‍රශ්නමයි කියන කාරණය ද්‍රවිඩ සන්ධානය පිළිගන්නෙ නෑ. එහෙම පිළිගත්තොත් ඒ අයට පැවැත්මක්‌ නෑ. එදා එල්.ටී.ටී.ඊ. එකට වැඳගෙන හිටපු දෙමළ සන්ධානෙට දේශපාලන භූමියේ රැඳිල ඉන්න අද තියෙන එකම පිහිට දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක්‌ ඕන කියල කෑගහන එක විතරයි. ඒ සද්දෙට අත්පුඩි ගහන එන්ජීඕ කාරයො ටිකකුත් ඉන්නව. මේ එන්ජීඕ කාරයන්ටත් පැවැත්මක්‌ තියෙන්නෙ අපේ රටේ දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක්‌ ඕනෑ කියන මිථ්‍යාව ලෝකෙ පතුරව ගත්තොත් විතරයි.

ඇයි එහෙමනං මේ රජය දේශපාලන විසඳුමක්‌ ගැන දෙමළ ජාතික සන්ධානය එක්‌ක සාකච්ඡා කරන්නෙ? 
දෙමළ ජනතාවට විශේෂ ප්‍රශ්න තියෙනව කියල හිතමු. ඔවුන්ගේ ඒ ප්‍රශ්න ගැන සාකච්ඡා කරනව නම් එහෙම කතා කරන්න ඕන දෙමළ ජනතාව ගැන කැක්‌කුමක්‌ තියෙන ඔවුන්ගෙ ප්‍රශ්න විසඳීමට ඕනකමක්‌ තියෙන අය එක්‌කයි. දෙමළ ජාතික සන්ධානෙට දෙමළ ජනතාවගෙ ප්‍රශ්න විසඳන්න ඕනකමක්‌ තියෙනවද? කොටි එදා දෙමළ ජනතාවගෙ දරුවො පැහැරගෙන යද්දී දුක්‌ මහන්සියෙන් ජීවිතේ ගැටගහගත්තු දෙමළ ජනතාවගෙන් කප්පම් ගනිද්දී දෙමළ සන්ධානය මොනවද කෙරුවෙ? එහෙයියො වාගෙ කොටි කියන හැම දේටම එහෙයි කිය කියා හිටිය. අද මේ ආණ්‌ඩුවේ සමහරු ජනාධිපතිතුමාට එහෙයි කියනවා වගේ ඔය දෙමළ සන්ධානෙත් එදා කළේ කොටින්ට එහෙයි කියපු එක.
අද දෙමළ ජනතාවගෙ බඩට වැඩියෙන්ම ගහන්නෙ දකුණු ඉන්දියානු ධීවරයො. උන් ඇවිත් අපේ මත්ස්‍ය සම්පත පැහැරගෙන යනවා. ජයලලිතල කියන්නෙ අපේ මුහුදු සීමාවේ මාළු අල්ලන්න දකුණු ඉන්දියානු ධීවරයන්ට පුළුවන් කියල. අපේ දෙමළ ජනතාවගෙ බඩට ඉන්දියාවෙන් ගහන මේ පාර ගැන දෙමළ ජාතික සන්ධානෙ කටක්‌ අරින්නේ නෑ. ඉන්දියානු ධීවරයො මේ කරන්නෙ අපේ ධීවරයන්ගෙ ආහාර ටික කොල්ල කන එක. දෙමළ ජනතාව ගැන අවංක කැක්‌කුමක්‌ තියෙනව නං මේ අය මෙහෙම ගොළුවො වගේ ඉන්නවද?
දෙමළ ජාතික සන්ධානෙ කියන්නෙ අපේ රටේ දෙමළ ජනතාවට තියෙන ප්‍රශ්න විසඳෙන්න නම් උතුර නැගෙනහිර යා කරන්න ඕන. ඒ අයට ඉඩම් බලතල සහ පොලිස්‌ බලතල දෙන්න ඕන කියලයි. මේ ඉල්ලීම් දුන්නහම දෙමළ ජනතාවගෙ ප්‍රශ්න විසඳෙන්නෙ කොහොමද?
ඔය කිසිම දේකින් දෙමළ ජනතාවට ඇතිවන කිසිම සෙතක්‌ නෑ. දෙමළ සන්ධානය ඔය බලතල ඉල්ලන්නෙ ඒ අයගෙ සුබසිද්ධියට. ඒ අයගෙ පම්පෝරියට. ද්‍රවිඩ ජාතික සන්ධානය කියන්නෙ බල කාමයෙන් මත්වෙච්ච දුෂ්ට පක්‍ෂයක්‌. මේ අය එදා කොටින්ගෙ එහෙයියො. කොටි මළාට පස්‌සෙ දැන් මහා ප්‍රජාතන්ත්‍රවාදියො වගේ අපට ප්‍රජාතන්ත්‍රවාදය උගන්වන්න එන මේ පල්හොරු එක්‌ක ආණ්‌ඩුව කතා කරන්නෙ ඇයි කියන එක මටත් ප්‍රශ්නයක්‌. මේක මට සැකයක්‌.

ඇයි ඔබ එහෙම හිතන්නෙ… 
දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක්‌ දෙනව කිය කියා කල් මර මර ආණ්‌ඩුව මේ හදන්නෙ දෙමළ ජනතාව රවට්‌ටල ඔවුන්ගෙ ඡන්ද ටික හූරගෙන බලයෙ ඉන්න කියලයි මම හිතන්නෙ. ආණ්‌ඩුවට දැන් ඕනවෙලා තියෙන්නෙ දිගටම බලේ ඉන්න විතරයි. එදා බණ්‌ඩාරනායකලත් ඕක කරන්න හැදුවා. එදා බණ්‌ඩාරනායක මහත්මය ඝාතනය උනාට පස්‌සේ සමහරු හැදුවා පවුල් පාලනයක්‌ රටේ ඇති කරන්න. අපේ රට නැවතත් මේ යන්නේ පවුල් පාලනයට දැයි මා තුළ සැකයක්‌ තිබෙනවා.

නමුත් මේ සියලු දෙනා පාර්ලිමේන්තුවට යන්නෙ ජනතාවගේ ඡන්දයෙන්, ජනතාවගෙ කැමැත්තෙන් නේද? 
අද මොකක්‌ද ජනතාවගෙ ඡන්දෙ කියන්නෙ? අද ඔය නරකයි කියන, කුඩුකාරයොයි කියන, දූෂකයොයි කියන අයත් පාර්ලිමේන්තුවට ගියෙත් ජනතාවගෙ ඡන්දෙන්නෙ. මිනිස්‌සුත් අද ඡන්දෙ දෙන්නෙ නොයෙකුත් බලපෑම් වලටනෙ. ඡන්දයෙන් ආවත් නැතත් වටිනාකම තියෙන්නෙ ඒ අයගෙ වැඩපිළිවෙළ අනුවනේ. ජනතාවගෙ ඡන්දෙන් ආපු මේ අය වැඩ කරන්නෙ ජනතාව වෙනුවෙන් ද ජනතාවට විරුද්ධවද? ගම්පහ ජනතාවගෙ ඡන්දෙන් ඇවිත් හලාවත ගිහින් එහෙ මිනිsසුන්ගෙ කුකුළො, එළුවො හොරකම් කරන එක හරිද අපේ රට සුද්ද පවිත්‍ර කරන්න ඔයතරම් ඕන කමක්‌ තියෙනව නම් කොළඹ ඉන්න එක කුඩු කාරයෙක්‌ අල්ලල තියෙනවද? ඔය එළුවො, කුකුලො අල්ලන අය එක කුඩු කාරයෙක්‌ ගැන කටක්‌ අරින්නේ නෑ. දෙමළ ජාතික සන්ධානයත් ඔය විදිහෙ දේශපාලකයො ටිකක්‌. දෙමළ ජනතාවට විතරක්‌ අමුතුවෙන් විසඳුමක්‌ දෙන්න කියල මේ රටේ ප්‍රශ්නයක්‌ නෑ. රටේ ඔක්‌කොටම තියෙන්නෙ එක වගේ ප්‍රශ්න. ඒව රටේ හැමෝගෙම පොදු ප්‍රශ්න. උතුරට පොලිස්‌ බලතල දුන්න කියල ඉඩම් බලතල දුන්න කියල උතුර නැගෙනහිර එක්‌කළා කියල දෙමළ ජනතාවගෙ ප්‍රශ්න විසඳෙන්නෙ නෑ. හම්බන්තොට මලල ක්‍රීඩා උත්සවයක්‌ තිබ්බ කියල සිංහල ජනතාවගෙ ප්‍රශ්න විසඳෙන්නෙත් නෑ. ඕකට ඔස්‌ටේ්‍රලියාවේ සැණකෙළිවලට රුපියල් මිලියන 800 ක්‌ වියදම් කරන එක මෝඩකමක්‌. ජාතික අපරාධයක්‌. ඕව කරන්නෙ නිකං පම්පෝරියට නෙ.

නමුත් අද විවිධ සංවර්ධන ක්‍රියාදාමයන් තුළින් රට ආර්ථික වශයෙනුත් ඉදිරියට ගමන් කරන බව මහ බැංකු වාර්තාවලිනුත් කියනව. ඔබ කියන්නෙ රට යන්නෙ ආපස්‌සට කියලද? 
මහා මාර්ග දියුණු කරනව. ඒවායින් රට සංවර්ධනය වෙනව තමයි. නමුත් මොනතරම් ණය කන්දරාවක ද අපි හිරවෙලා ඉන්නෙ. මේව ගෙවන්නෙ කවුද? ආණ්‌ඩුව කියන ගණන් හිලව් වලින් ඔක්‌කොම හරි කිව්වට ජනතාවගෙ දුප්පත්කම කොහෙද අඩුවෙලා තියෙන්නෙ? ඔක්‌කොම හරි කියන ඔය අය එක පොළකට යනවද? හැම ඉරිදාම මම පොළට යනවා. මිනිස්‌සු බඩු ගන්න හැටි මට පේනව. මිනිස්‌සු ගන්නෙ ග්රෑම් සීය දෙසීය. ඒ රටේ ආර්ථිකේ හොඳ හින්දද? දුප්පත්කම නැතිවෙලා හින්දද? මිනිස්‌සු තවම බඩගින්නෙ. අද බඩු මිලේ හැටියට ඒව අරගෙන කන්ඩ බෑ, අත ගාල වැඳල එනව මිසක්‌. ජනතාව අවුරුදු 30 ක්‌ දුක්‌වින්ද. මේව විසඳෙන්නෙ කවදද?

අපේ රට අද ලෝකෙ විශාලම කැබිනට්‌ මණ්‌ඩලයක්‌ තියෙන විශාල ඇමැති මණ්‌ඩලයක්‌ ඉන්න රටක්‌. නමුත් ඇයි මේ ප්‍රශ්න නොවිසඳෙන්නෙ? 
ඇමැතිවරු විශාල පිරිසක්‌ හිටියට එයින් සියයට අනූපහක්‌ විතරම පන්දම් කාරයො. වැඩක්‌ කරන්න පුළුවන් ඇමැතිවරු සියයට පහක්‌වත් නෑ. ඇමැතිකම් සොයාගෙන ඒ පැත්තෙන් මේ පැත්තට පැනල වඳුරෝ වගේ ඉන්නව මිසක්‌ ඇමැතිවරුන්ගෙන් රටට වැඩක්‌ කරන්නෙ කීයෙන් කීදෙනාද? නායකයෙක්‌ හැටියට ඉන්නෙ මහින්ද රාජපක්‍ෂ විතරයි. ජනාධිපතිතුමා නැත්නම් කොටි තාම ඉන්නව. එදා කොටි රජ කරද්දී උන් නැති කරන්න එතුමා අගනා නායකත්වයක්‌ දුන්නා. නමුත් අද? ඒ නායකත්වය ගැන අද අපට සෑහීමකට පත්වෙන්න පුළුවන්ද? අද අපට දෙවන පෙළ නායකයෙක්‌ ඉන්නවද? මොනව හරි හේතුවකින් හදිසියේ වත් ජනාධිපතිතුමා නැති වුණොත් අද මේ රටට මොකද වෙන්නෙ. කවුද නායකයා? පොදු පෙරමුණ පටන් ගන්නවා ඇන කොටා ගන්න. මොකද දැනටමත් ඒ ගොල්ලො හැමෝම හිතන්නෙ හැමෝම නායකයො කියලනෙ. යූ.ඇන්.පියේ නම් නායකයා ඉන්න කොටම නායක කමට මරාගන්නව.
එදා හරි නායකයෙක්‌ නැතුව හිටපු මේ රටට නායකත්වයක්‌ දුන්නෙ මහින්ද ජනාධිපතිතුමා. අපි ඒ නායකත්වය හැම මොහොතකම අගය කරනව. කොටි මර්දනය කරන විට ඒකට අත දාන්න ආපු සුද්දො එදා එළවල දැම්ම. නමුත් අද අර බ්ලේක්‌ කියන නිලධාරියාට මෙහෙ ඇවිත් ඕන දෙයක්‌ කියන්න ඉඩ ලැබිල තිබෙනවා. අපේ විදේශ අමාත්‍යාංශ කවුරු හරි ඇමරිකාවට ගිහින් ඒ රටේ අභ්‍යන්තර කටයුතු ගැන කතා කරන්න ඔබාමා ඉඩ දෙයිද? එහෙම නම් අද මේ අපේ රටේ මොකද වෙන්නෙ? මේව වැරදියි කියල ජනාධිපතිතුමාට කියන්න කොන්ද පණ තියෙන ඇමැතිවරයෙක්‌ නෑ. එහෙයියො – පන්දම්කාරයො වෙලා තනතුරු බදාගෙන ඉන්නව. අද අපේ රට විනාශ වෙන්නෙ මේ පන්දම්කාරයො හින්දයි.
උපුටා ගැනීම
ඉරිදා දිවයින
2011-11-18

Related

බණ්‌ඩාරනායක 7924450135047122601

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item