බෙදුම්වාදය : සොබාදහමටත් සියලු ආගම්වලටත් පටහැනි විනාශකාරී මතවාදයකි

පසුගිය ජුලි විසිහය වැනිදා වව්නියා නගර මධ්‍යයේ පිහිටි බෝධි දක්‍ෂිණාරාම විහාරස්‌ථානයේදී සිංගප්පූරුවේ මහාකරුණා බෞද්ධ සංගමයේ පූජ්‍ය අලව්වේ සංඝරත...

පසුගිය ජුලි විසිහය වැනිදා වව්නියා නගර මධ්‍යයේ පිහිටි බෝධි දක්‍ෂිණාරාම විහාරස්‌ථානයේදී සිංගප්පූරුවේ මහාකරුණා බෞද්ධ සංගමයේ පූජ්‍ය අලව්වේ සංඝරතන හිමියන්ගේ අනුග්‍රහයෙන් පැවැත්වුණු දහම් ගුරු සමුළුවේ විශේෂ දේශනයක්‌ සඳහා මේ ලිපිය ලියන මට ආරාධනා කරන ලද්දේ වව්නියා නියෝජ්‍ය පොලිස්‌පති ජයවීර මහත්මා විසිනි. ජුලි විසිහය වැනිදා පැවැති එම දහම් ගුරු සමුළුවේ සුවිශේෂ වැදගත්කම වන්නේ වව්නියා බන්ධනාගාරයේ ඇති වූ ත්‍රස්‌තවාදී ක්‍රියාවලිය මර්දනය කර මාසයක්‌ තරම් කාලයකදී සිංහල, දෙමළ, මුස්‌ලිම් ජනවර්ග තුනටම අයත් දහම් ගුරුවර ගුරුවරියන් දෙසිය දෙනකු පමණ ඒ ගුරු සමුළුවට සහභාගි වීමයි. පැයදෙකක්‌ තරම් කාලයක්‌ තිස්‌සේ දෙමළ පරිවර්තනයක්‌ද සමග පැවැති මගේ දේශනය පරිවර්තනය කරන ලද්දේ බණ්‌ඩාරවෙල ප්‍රදේශයෙන් පොලිස්‌ සේවයට එක්‌ වූ නිලධාරියකු වීමද විශේෂයෙන් සඳහන් කළ යුත්තකි. 

රටේ මධ්‍ය කඳුකරයට අයත් වතුකරය හා සම්බන්ධ බහුතර ජනතාව සිංහල, දෙමළ භාෂා දෙකම හොඳින් කථා කරන්නට දන්නවුන් වීමද භාග්‍යයකි. සිංහල, දෙමළ, මුස්‌ලිම් ජනවර්ග තුනටම අයත් බෞද්ධ, හින්දු, ඉස්‌ලාම්, ක්‍රිස්‌තියානි සියල්ලන් සමගියෙන්, අෙන්‍යාන්‍ය ගෞරවයෙන් කටයුතු කළයුතු බව පෙන්වාදෙමින් ධර්මානුකූලව කරුණු ගෙනහැර දැක්‌වූ මම අතීතයේ බුදුන්වහන්සේ උතුරු ඉන්දියාවේ කළ ධර්ම චාරිකාවලදී අන්‍යාගමික ආරාමවලට ගොස්‌ කරුණාවෙන්, මෙත්සිතින් සුහදව සාකච්ඡාවල යෙදුණු බවත් උන්වහන්සේගේ එබඳු චාරිකාවලදී සුහද ලෙස ප්‍රශ්න විචාරන්නට අන්‍ය ආගමික පූජ්‍ය පක්‍ෂය මෙන්ම ගිහි අනුගාමික පිරිස්‌ද සූදානමින් සිටි බවත් කියාපෑවෙමි.



බෞද්ධ, හින්දු, ඉස්‌ලාම්, ක්‍රිස්‌තියානි ආගමික සමගියට හා ජාතික එකමුතුභාවයට හේතුවන අයුරින් බුදුදහම පදනම් කරගෙන ධර්මානුකූලව කරුණු ගෙනහැර දැක්‌වූ දේශනයේදී මා විශේෂයෙන් අවධාරණය කළේ ලොව ලොකුම ධර්මතාවය වූ සොබා දහමට අනුකූලව සොබා පරිසරය රැකගෙන ධාර්මිකව දිවි ගෙවිය යුතු බවයි. "ආරාම රෝෂා වනරෝපා".... ආදී වශයෙන් බුදුන් වදාළ ආකාරයට ගෙවතු හෙවත් උයන්වතු බවට පත්කරන වගා පිළිවෙතක්‌ අනුගමනය කිරීමෙන් හිත ගත සැනසී පරිසරය සුන්දර වන බව පෙන්වා දෙමින් කරුණු ගෙනහැර දැක්‌වූ මම එවන් පිළිවෙතක්‌ සෑම ආගමකට අයත් සියලු මනුෂ්‍යයන්ට මෙන්ම මිනිසාට හිතකර සතුන්ටද යහපතක්‌ වන බව පැහැදිලි කළෙමි. ගෙවතු වගාවේදී බීජ හා පැළ ආදිය මෙන්ම වගාවෙන් ලැබෙන පලදාවද සමගිව බෙදාහදාගැනීම ජාති, ආගම් භේදයෙන් තොරව අසල්වැසි සුහදතාවය වර්ධනය වීමට හේතුවන බව කී මගේ අදහස සියලුම දහම් ගුරු භවතුන්ගේ පිළිගැනීමට ලක්‌වීයෑයි කිව හැකිවේ. සියලුම බුදුවරුන් සොබාදහම සමඟ සහජීවනයෙන් කටයුතු කිරීමේ අගය පහදා දෙන බව කී මගේ විග්‍රහය අසා සිටි සියල්ලන්ගේම සිත්ගත් බව පෙනීගියෙන් මම සොබා දහමට මුල්තැනදී දේශනය කරගෙන ගියෙමි. මිනිසුන් ආගම දහමින් ඈත්ව සොබා දහමට පිටුපා තණ්‌හා, ද්වේෂ, මෝහාදී පාපයන්ට වසඟව ක්‍රියා කිරීමෙන් ලෝකය අවුල් ජාලයක්‌ වී ඇති බව පෙන්වා දුන් මා මානව ප්‍රජාව ජනවර්ග වශයෙන්, ජාතීන් වශයෙන්, ආගම් වශයෙන් භේදභින්න කරමින් ස්‌වාධීන රටවල් තුළ ප්‍රශ්න මතු කරමින් ස්‌වෛරී රටවල අභ්‍යන්තර ප්‍රශ්නවලදී හමුදාමය වශයෙන් මැදිහත් වෙමින් ලොව පුරා කෙරෙන නව යටත් විජිතවාදී, අධිපතිවාදී සම්පත් කොල්ලය සම්බන්ධයෙන් අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතු බව කීවේ එය කාලීන අවශ්‍යතාවක්‌ වී ඇති බව අවධාරණය කරමිනි. 



සියලුම දහම් ගුරුවරුන් ධන තණ්‌හාවෙන් හා බලකාමයෙන් උමතු වී ලොව පුරා විනාශකාරී ක්‍රියාමාර්ග දියත් කරන නවයටත්විජිතවාදී අධිපතිවාදී බලවේගයන්ගේ කූටෝපාය මාර්ගය හොඳින් අවබෝධ කරගෙන බුද්ධිමත්ව ප්‍රඥවන්තව කටයුතු කරමින් අපේ පුංචි රටේ ජාතික සමගිය ආරක්‍ෂා කරගත යුතු බව කියමින් ඒ සඳහා රටටම පොදු ජාතික වස්‌තුව වූ ජලය උපයෝගී කරගත හැකිබව පෙන්වාදෙමින් කළ විග්‍රහය අසා සිටි සැමගේ සිත්ගත් බව මගේ විශ්වාසයයි. ලක්‌වැසියන් අදහන ආගම් හතරටම අයත් ජනතාවගේ ගෞරවයට පත් වූ සමනොළ කඳු පෙදෙසින් හා ලෝක උරුමයක්‌ ලෙස පිළිගැනුණු සිංහරාජ වනයෙන් එන කළුගඟේ පානයට සුදුසු පිරිසිදු ජලයෙන් වයඹත් උතුරුමැදත් උතුරේත් පානීය ජල ප්‍රශ්නය විසඳිය හැකි බවත් බස්‌නාහිර ගංවතුරින් යටකරන කළු, කැලණි ගංගාවල පිටාර ජලයෙන් කුරුණෑගල, පුත්තලම, මන්නාරම්, වව්නියා හා කිළිනොච්චි දිස්‌ත්‍රික්‌කවල වගා අවශ්‍යතාව ඉටුකළ කළ හැකි බවත් පෙන්වාදෙමින් ඒ සඳහා ජනවර්ග හා ආගම් භේදවලින් තොරව ජාතික සමගිය හා රටේ ඒකීයභාවය රැකගත යුතු බවත් කී මගේ දේශනයේදී ප්‍රකාශ වූ රටේ ඒකීයභාවය රැකගැනීමේ අදහස ප්‍රශ්න කිරීම්වලට භාජනය වීම නිසා බෙදුම්වාදී චින්තනයේ පදනම බිඳදමන විග්‍රහයක්‌ කිරීමේ අවස්‌ථාව මට ලැබිණි.

දේශනයෙන් පසු ප්‍රශ්න තිබේ නම් අසන්නැයි කියා සිටි අවස්‌ථාවේ හින්දු භක්‌තික දෙමළ දහම් ගුරුවරියක්‌ "බුදුන්වහන්සේ ලංකාවේ ඒකීයභාවය ආරක්‍ෂා කිරීම ගැනත් කියා තිබේද? බුදුදහමට අනුව පෙඩරල් ක්‍රමයත් ප්‍රතික්‍ෂේප කරන්නේදැ"යි ඇසුවේ සිනාමුසුවෙමිනි. දෙමළ බසින් ඇසූ ප්‍රශ්නය සිංහලට පරිවර්තනය කිරීමෙන් පසු මා කියා සිටියේ මහායාන බුදුසමයේ එන ආකාශගර්භ ස්‍රත්‍රය අනුව රටවල් බෙදීමත්, නගර බෙදීමත්, ගම් බෙදීමත් මහා පාපයක්‌ බවයි. බුදුන් වහන්සේගේ කාලයේ පවා ජලය බෙදා ගැනීම සඳහා යුද්ධ කරන තත්ත්වයක්‌ තිබූ බවත් මිනිස්‌ ජීවිතවල අගය පෙන්වා දෙමින් යුද්ධ නොකර සාමකාමීව සාධාරණ ලෙස ජලය බෙදාගත යුතු බව බුදුන්වහන්සේ විසින් පහදා දී ඇති බවත් කීවා, පසුව බලවත් වූ අශෝක අධිරාජයාගේ නායකත්වයෙන් බුද්ධ කාලයේ තිබූ සොළොස්‌ මහා ජනපද එක්‌සේසත් කර සියලු ජනතාව තම දරුවන් සේ සලකා රාජ්‍යයේ සම්පත් සාධාරණව ගැටුම්වලින් තොරව ප්‍රයෝජනයට ගත හැකි පිළිවෙතක්‌ ක්‍රියාවට නැගීම ජනවර්ග භේදවලින් තොරව සැමට යහපතක්‌ වූ බවත් කීවේ, එම පිළිවෙත කණිෂ්ක රජුගේ කාලයේ ඇෆ්ගනිස්‌ථානය තුළත් පැතිරී ලෝක ප්‍රකට බුද්ධිමතකු වූ මිළිඳු රජු සමයේත් මනාව ක්‍රියාත්මක වූ බව පැහැදිලි කරමිනි. ප්‍රශ්නය එයින් අවසන් වූයේ නැත. "ඉන්දියාවේ අතීතයේ විසූ බෞද්ධ රජුන් ගැන කථා කරන ධර්මසේකරතුමන් පෙඩරල් ක්‍රමයට විරුද්ධ දැයි ඇසුවේ මුස්‌ලිම් දහම් ගුරුවරියකි.

ලොව ලොකුම පෙඩරල් රාජ්‍යය වූ සෝවියට්‌ දේශය රාජ්‍ය පහළොවක්‌ ලෙස බෙදී වෙන් වී ගිය බවත් නොබැඳි රටවල ආදර්ශ රාජ්‍යයක්‌ ලෙස සැලකුණු යුගෝස්‌ලාවියාව රාජ්‍ය හයකට බෙදී ගිය බවත් පෙන්වා දුන් මම ඒ අභාවාත්මක ලෝක අත්දැකීම් අනුව මටද පෙඩරල් ක්‍රමය පිළිගත නොහැකි බව කීවෙමි.

බෞද්ධ මතය කෙසේ වෙතත් හින්දු, ක්‍රිස්‌තියානි, ඉස්‌ලාම් ආගම්වල පෙඩරල් ක්‍රමයට විරෝධයක්‌ නැති බව කියමින් මතුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මා කියා සිටියේ රටවල් බෙදීමට හේතුවන ඕනෑම දේශපාලනයක්‌ දේව නිර්මාණයට හා ලෝකය නිර්මාණය කළේ යෑයි කියන දෙවියන්ගේ සැලැස්‌මට පටහැනි බවයි. පුංචි ශ්‍රී ලංකාවේ අප පෙඩරල් ක්‍රමයට හෝ රට බෙදීමට මගපාදන වෙනත් ක්‍රියාමාර්ගයකට හෝ එකඟ වුවහොත් එය විශ්වාන්තරවාදී බුදුදහමට මෙන්ම හින්දු දහමටත්, ඉස්‌ලාම් දහමටත්, ක්‍රිස්‌තියානි දහමටත් එරෙහි වන බව කියමින් මා වැඩිදුරටත් පැහැදිලි කළේ මේ ලෝකය බ්‍රහ්මයෝ හෝ අල්ලාහ් දෙවියන්ගේ හෝ ජෙහෝවා දෙවියන් වහන්සේගේ නිර්මාණයක්‌ ලෙස පිළිගන්නා කිසිවකුට ලෝක නිර්මාපක දෙවියන්ගේ සැලැස්‌මට එරෙහිව යමින් රටවල් බෙදන ප්‍රතිපත්තියක්‌ පිළිගත නොහැකි බවයි. එසේවන්නේ කෙසේදැයි ඇසූ ප්‍රශ්නයට වැඩිදුරටත් පිළිතුරු දෙමින් මා පෙන්වා දුන්නේ ඉන්දියාවේ හිමාලය කඳු මෙන්ම ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයද බ්‍රහ්මගේ, අල්ලාහ්ගේ හා ජෙහෝවා දෙවියන්ගේ නිර්මාණයක්‌ ලෙස පිළිගන්නේ නම් පුංචි ශ්‍රී ලංකාවේ හතර අතටම පැතිරෙන තැනිතලා භූමියට ගංගා එකසිය තුනක්‌ මගින් ජලය සපයන ජලපෝෂක මධ්‍ය කඳුකරයක්‌ සහිත අපේ මාතෘදේශය වෙනම රාජ්‍ය හෝ වෙනම රාජ්‍යවලට මගපාදන පෙඩරල් ක්‍රමයට අනුව බෙදීම බ්‍රහ්ම, අල්ලාහ් හා ජෙහෝවා ආදී ලෝක නිර්මාපක දෙවියන්ගේ සැලැස්‌මට එරෙහිව යැමක්‌ වන බවයි.

හිමාල කඳුවැටියෙන් පටන්ගන්නා ගංගානම් ගඟ ජලය බෙදාගැනීමේ යුද ගැටුම්වලින් තොරව ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක්‌ ඔස්‌සේ බෙංගාල බොක්‌ක දක්‌වා ඇදීයන්නේ වත්මන් ඉන්දියානු නායකයන් අශෝක අධිරාජ්‍යයාගේ ආදර්ශය අනුව අශෝක ස්‌ථම්භය රාජ්‍ය ලාංඡනය ලෙස යොදාගෙන, ඓතිහාසික අශෝක පිළිවෙත උපයෝගී කරගෙන කටයුතු කරන නිසා බව පෙන්වා දුන් මම, හිමාලය කඳුත් හින්දු කුෂ් කඳු වැටියත් ගැන කියමින් සින්දු ගඟ ජලය සඳහා වූ යුද ගැටුම්වලින් තොරව ප්‍රාන්ත කීපයක ජනතාවගේ පවස නිවමින් වගාවට ජලය ලබාදෙන්නේ වත්මන් ඉන්දීය නායකයන් අශෝක අධිරාජයාගේ පිළිවෙත උපයෝගී කරගෙන කටයුතු කරන නිසා බව පැහැදිලි කළෙමි. මා අවසාන වශයෙන් කියා සිටියේ පුංචි ශ්‍රී ලංකාව මෙන්ම සුවිසාල රුසියාවත් අසල්වැසි ඉන්දියාවත් අපේ රටට පෙඩරල් ක්‍රමයක්‌ යෝජනා කරන ඒකීය රාජ්‍යයන් වූ බ්‍රිතාන්‍යයත්, ප්‍රංශයත් වෙනත් ඕනෑම රටකුත් බෙදීමට අප කිසිදු ආකාරයකින් අනුබල නොදිය යුතු බවයි. 

ඉස්‌ලාම් දහම් ගුරුවරියක්‌ මගෙන් ඇසුවේ "ඔබතුමා මේ අදහස්‌ මේ ආකාරයට රටේ අනෙක්‌ පළාත්වලත් කියා සිටිනවාද?" යන්නයි. මා ඇයට පිළිතුරු දුන්නේ, උතුරේ වව්නියාවේදී මෙන්ම දකුණේ හම්බන්තොටදීත්, නැගෙනහිර අම්පාරේ හා ත්‍රිකුණාමලේදීත්, මගේ දේශනය පරිවර්තනය කරන පොලිස්‌ නිලධාරි මහතා අයත්වන ඌව පළාතේදීත්, සබරගමුවේදීත්, මධ්‍යම පළාතේදීත් බස්‌නාහිර පළාතේදීත් මේ කරුණු මේ අයුරින්ම ඉදිරිපත් කරන බව කියමිනි. "එහෙම නං ඉතිං මේ රටේ පෙඩරල් ක්‍රමයවත් ඇතිකරන්න වෙන්නෙ නෑ" යි කියමින් ප්‍රශ්නය මතුකළ ඉස්‌ලාම් දහම් ගුරුවරිය සිනාසෙන්නට වූවාය. මම පැමිණ සිටි සියලු දෙනාට රාජසිංහ පැණිවරකා පැළයක්‌ බැගින් දුන්නේ සොබාව ධර්මවාදී ත්‍යාගයක්‌ ලෙසිනි.

එදිනම සවස මගේ දේශනය පැවැත්වුණේ වව්නියා නියෝජ්‍ය පොලිස්‌පති ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් වව්නියා පොලිස්‌ මධ්‍යස්‌ථානයේදීය. ඒ දේශනය අසන්නටද වව්නියා දිස්‌ත්‍රික්‌කයේ විවිධ තරාතිරම්වල පොලිස්‌ නිලධාරීහු දෙසීයකට කිට්‌ටු සංඛ්‍යාවක්‌ පැමිණ සිටියහ. දේශකයා වූ මා හඳුන්වා දෙමින් ජයවීර මහතා කීවේ තමන් කළුතර පොලිස්‌ විශේෂ කාර්ය බළකා මූලස්‌ථානයේ පුහුණු අධ්‍යක්‍ෂ වශයෙන් කටයුතු කළ කාලයේ ලැබූ සුවිශේෂ අත්දැකීම් නිසා මා වව්නියාවේ පොලිස්‌ නිලධාරින් සඳහා වූ දේශනයකට කැඳවූ බවයි. කළුතර පොලිස්‌ විශේෂ කාර්ය බළකා මූලස්‌ථානයේ පුහුණු අධ්‍යක්‍ෂ වශයෙන් කටයුතු කළ අවධියේ තම අත්දැකීම් විස්‌තර කරමින් ජයවීර මහතා කියා සිටියේ ත්‍රස්‌තවාදී බිම් බෝම්බ නිසා නැගෙනහිරට යෑවූ විශේෂ කාර්ය බළකායේ පිරිස්‌වලට මුහුණපාන්නට සිදුවූ බරපතළ හානි කීපයක්‌ නිසා අලුතෙන් පුහුණුව අවසන් කළ කණ්‌ඩායම්වලින් කොටසක්‌ සටන් බිමට නොගොස්‌ පලායන තත්ත්වයක්‌ උදාවූ බවත් ඒ තත්ත්වය වෙනස්‌කර අලුතෙන් පුහුණුව ලබන කිසිවකු පලානොයන අන්දමින් ජාතික අධ්‍යාත්ම ශක්‌තිය වර්ධනය කිරීම සඳහා තමන්ට සහාය වූයේ කළුතර අනගාරික ආශ්‍රමයේ සිට කළුතර විශේෂ කාර්ය බළකා මූලස්‌ථානයට පැමිණ රටේ උදාර ඉතිහාසය හා රැකගත යුතු ශ්‍රේෂ්ඨ ජාතික උරුමයන් පිළිබඳ සිත් කාවදින විග්‍රහයන් කරමින් පැයගණන් දිගු දේශන කළ අනාගාරික ධර්මසේකරතුමන් බවයි. එහෙයින් රැයක්‌ නිදිවරා උදේ වරුවෙන් පැය ගණනක්‌ දේශන කර අප වෙනුවෙන් හවස්‌ වරුවක්‌ වෙහෙසෙන ධර්මසේකරතුමන්ට හොඳින් සවන්දී ජාතික ඉතිහාසයේ අදමන් ජීවගුණය උරාගෙන රටත් ජනතාවත් ජාතික උරුමයත් රැකගන්නට අවශ්‍ය අධ්‍යාත්ම ශක්‌තිය වර්ධනය කරගන්නැයි කියමින් නියෝජ්‍ය පොලිස්‌පති ජයවීර මහතා මට දේශනයට ආරාධනා කළේ ජාතික ඉතිහාසයෙන් මෙන්ම ත්‍රස්‌තවිරෝධී සටනින්ද පන්නරය ලැබූ සැබෑ වීරවරයකු ලෙසිනි. මගේ ජීවිතයේ මා ලැබූ ලොකුම උපහාරය මට දේශනයට ඇරයුම් කරමින්, ම විසින් ඉටුකරන ලද මෙහෙවර අගය කරමින් ජයවීර මහතා කළ හැඳින්වීමයි. එවන් උපහාරාත්මක ඇගයීමක්‌ ශ්‍රී ලංකාවේ ඇමැතිවරයකුට වුවද ලැබේයෑයි සිතිය නොහැකි බව මගේ විශ්වාසයයි.


-අනාගාරික ධර්මසේකර

උපුටා ගැනීම 


2012/10/30

Related

අනගාරික ධර්මසේකර තුමා 1719725961031325367

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item