අධිරාජ්‍යවිරෝධී අරගලය: විජේවීර ලකුණ සහ වමේ අවුල

-වෛද්‍ය වසන්ත බණ්ඩාර මේ දිනවල මතුවී ඇති වාම දේශපාලන මතවාදී හැලහැප්පිලි අපේ මතකයන් බොහෝ ඈතට රැගෙන යයි. 1979 වසරෙදී පේරාදෙණිය විශ්වවිද්‍යාල...

-වෛද්‍ය වසන්ත බණ්ඩාර
මේ දිනවල මතුවී ඇති වාම දේශපාලන මතවාදී හැලහැප්පිලි අපේ මතකයන් බොහෝ ඈතට රැගෙන යයි. 1979 වසරෙදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සභාවේ ශිෂ්‍ය නායකයින් ලෙස අපි වැදගත් දේශපාලන සම්මන්ත‍්‍රණයක් සංවිධානය කරන්නට කටයුතු කළෙමු. එහි ප‍්‍රධාන දේශකයා වූයේ එවකට ජනතා විමුක්ති පෙරමුණේ (ජ. වි. පෙ.) ප‍්‍රධාන පෙලේ නායකයකු වූ ලයනල් බෝපගේ මහතාය. ඉංණිනේරු පීඨ ශ‍්‍රවණාගාරයේදී පැවැත්වූ එම සම්මන්ත‍්‍රණයේදී ඔහු ‘‘දෙමළ ජනතාවගේ ස්වයං තීරණ අයිතිය’’ පිළිබද කරුණු රාශියක් තර්කානුකූලව ඉදිරිපත් කරන්නට සමත් විය. රැඩිකල් වාමවාදී ප‍්‍රවණතාවක් හිස ඔසවමින් තිබූ එම අවදීයේදී එම තර්කවලට ඉතා ඉහළ පිළි ගැනීමක් ලැබුණි. J R ජයවර්ධනගේ දුෂ්ඨ ඒකාධිපති පාලනයට එරෙහිව නැගී සිටින පීඩිත දෙමළ ජනතාවගේ සටනටසහාය දෙන්නේ නැති නම් අපි මොන මිනිස්සු ද?’’ එදා අපට හිතුනේ එහෙමයි. එදා  විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන්ට දෙමළ සිසුන් අතර එම සටන් පාඨ  බාහොම උජාරුවෙන් හඬ න`ගන්නට අවස්ථාව ලැබුණි. එදා විශ්වවිද්‍යාලයේ ප‍්‍රධාන හෝ කේන්ද්‍රීය දේශපාලන සංවාදවලදී එම සටන් පාඨවලට ඉහළ ප‍්‍රමුඛතාවයක් හිමි නොවුණත් ඒවා ස්ථාවරයන් ලෙස අවිවාදයෙන් පිළිගැනුණි.


ඉන්පසු 1981 වර්ෂයේදී රෝහණ විජේවීරයන් දේශනයක් සඳහා පේරාදෙණිය කලාගාරයට පැමිණුණි. දේශනයෙන් පසුව ඔහු සමග වාද විවාද කිරීමට අපට අවස්ථාව ලැබුණි. අතිදක්‍ෂ විවාදකරුවකු වූ ඔහුටද අප දමා ගැසූ ප‍්‍රශ්නවලට උත්තර දීම පහසු වුණේ නැත. එයට හේතුව තම පක්‍ෂයේ තවත් නායකයකු පැවසූ කරුණු වැරදි අර්ථකතනයක් බව ඝෘජුව නොකියා ඒවාට විරුද්ධව ප‍්‍රතිතර්ක ඉදිරිපත් කිරීමට සිදු වීමයි. කෙසේ වෙතත් ඒ වාදයේදී අපගේ මනස තුළ ගැඹුරු ප්‍රශ්නයක් මතු කරන්නට ඔහු සමත් විය. දෙමළ ඊළාම් රාජ්‍යයක් අනාගත සමාජවාදී රාජ්‍යයට හතුරු වන බව ඔහු පැහැදිලිව ඔප්පු කළ අතර දෙමළ ජාතිවාදයට කප්පම් දීමෙන් ප‍්‍රශ්නය විසඳිය නොහැකි බව ද ඔහු පැහැදිලිව ප‍්‍රකාශ කළේ ය. නමුත් ස්වයං තීරණ අයිතිය න්‍යාය පිළිබඳව බරපතල සංවාදයකට නොයා සිටීමට ද ඔහු පරිස්සම් විය. එය බොහෝ විට, ඒ වන විට පක්‍ෂය තුළ එම කරුණ පිළිබඳ පැහැදිලි එකඟතාවක් නොතිබීම නිසා විය හැක. අවසානයේ අප ඔහුට එක ප‍්‍රශ්නයක් යොමු කරනු ලැබීය. ඒ ‘‘ඔබ අපට කියන්නේ දෙමළ ජනතාවගේ ගැටළුව විසඳීම සඳහා සමාජවාදය එනකල් ඉන්න කියලා ද?’’ යන හාසය මුසු වූ ප‍්‍රශ්නයයි. ඔහු ඊට අහිංසක සිනහවකින් පමණක් ප‍්‍රතිචාර දැක්වීය.

එදා සිට මේ ලියුම්කරුට විවිධ අවස්ථාවල රෝහණ විජේවීරයන් මුණගැසුණද ඊනියා ජාතික ගැටලූව පිළිබඳ නැවත ප‍්‍රශ්න කරන්නට අවස්ථාවක් නො ලැබුණි. එසේම 1983දී කොළඹ දී ලයනල් බෝපගේ තමා ජනතා විමුක්ති පෙරමුණ හැර යන බව පැවසීමට අප මුණගැසුනු අවස්ථාවේ ඔහු ගැන අනුකම්පාවක් තිබූ නමුත් ඔහුගේ මතවාද පිළිබඳ අප තුළ අනුකම්පාවක් තිබුණේ නැත. එතැන් සිට ආරම්භවන දේශපාලන අඳුරු යුගයේදී බුද්ධිමය දේශපාලන සංවාද ක‍්‍රමයෙන් ප‍්‍රචණ්ඩ සමාජ ප‍්‍රතිචාර බවට පත් විය.


ඒ අඳුරු යුගය තුළ 1984දී සීතල කඳු මුදුනක පිහිටී පහසුකම් අඩු කුඩා නිවසකදී මේ ලියුම්කරුට රෝහණ විජේවීරයන් නැවත මුණගැසිණි. ඒ ඔහු තම පක්‍ෂය තුළින් මෙන්ම බාහිර බුද්ධිමතුන්ගෙන්ද දෙමළ ඊළාම් අරගලය පිළිබඳ පැන නැගුණු මතවාදී ගැටුම්වලට පිළිතුරු දීම සඳහා ශාස්ත‍්‍රීය නිබන්ධනයක් ලියමින් සිටි අවධියේය. ඔහු එක් අතකින් තම හුරුබුහුටි කුඩා දියණිය තුරුල්කරගෙන අනෙක් අතින් පොත්පත් සහ කොළ කැබලි පිරුණු මේසයක් මත නොනවත්වා ලියමින් සිටියේ ය. මරණය අනුකම්පා විරහිතව තමා පසු පස හඹා එද්දී සිත සන්සුන් කොට ගෙන ධ්‍යානයට සමවදින ඒ අපූරු මිනිසාට බාධාකරමින් පැරණි ප‍්‍රශ්න අලූතින් ඇසීමට කෙනෙකුට සිතක් පහළ වෙන්නේ කෙසේ ද? නමුත් ප‍්‍රශ්න ඇසීමකින් තොරව විටින් විට විවිධ ස්ථානවලදී ඔහු දුන් සහ නොදුන් පිළිතුරු සියල්ල උපායමාර්ගික ශාස්ත‍්‍රීය සංග‍්‍රහයක් ලෙස 1985දී රහසිගතව එළි දැක්විනි.

දෙමළ ඊළාම් බෙදුම්වාදයට එරෙහිව ඔහුගේ දේශපාලන උපායමාර්ගික දැක්ම සහිත එම ග‍්‍රන්ථයේ අත් පිටපත මුද්‍රණය සඳහා ගෙන යාමේදී අස්ථානගත විය. එහෙත් එම ග‍්‍රන්ථය අකුරක් නෑර නැවත මතකයෙන් ලිවීමට හැකිීවීම සහ එතැන් සිට තවත් වසර 5කට ආසන්න කාලයක් ඔහුට තම ජීවීතය බේරා ගැනීමට හැකිවීම ශ‍්‍රී ලංකාවේ වරතමාන ඉරණම තීන්දු කළ ප‍්‍රධාන ඓතිහාසික සාධක දෙකකි. ඒ වන විට දෙමළ ඊළාම් අරගලය පිළිබඳ පැවති සියලූ මතවාදී පැටලිලි ලිහා දමමින් ජනතා විමුක්ති පෙරමුණ ශක්තිමත් ජාතික මතවාදයක් මත දෙපයින් සිටුවීමට එම ශාස්ත‍්‍රීය සංවාදයට හැකි විය.
1971 දී අත් අඩංගුවට ගත් තරුණයන්
බෙදුම්වාදී යුද්ධය යනු අධිරාජ්‍යවාදී කොල්ලකෑම දීර්ඝඝකාලීනව පවත්වාගෙන යාම සඳහා භාවිතාවන උපාය මාරගික දේශපාලන මෙහෙයුමක් බව රෝහණ විජේවීරයන් තහවුරු කළේ ය. යටත්විජිතවාදයේදී
1989 ශිෂ්‍ය උද්ඝෝෂණයක්
1971 දී අත් අඩංගුවට ගත් තරුණයන්
දීර්ඝකාලීන උපායමාර්ගයක් වන බෙදාවෙන්කර පාලනය කිරීමේ කූඨප‍්‍රාප්තිය රට බෙදා වෙන් කිරීම බව ඔහු ඉතා තර්කානුකූලව එම ග‍්‍රන්ථය මගින් පැහැදිලි කළේ ය. කොටි ත‍්‍රස්තවාදය යනු අධිරාජ්‍යවාදී කුලී හමුදාවක් බවත් දේශීය පාලකයින් කරන්නේ අධිරාජ්‍යවාදීන් තම මාරග සිතියමට අනුව අටවන උගුල්වලට පය තැබීම බවත් ඔහු තම සාමාජිකයාට පැහැදිලි කළේ ය. ඔහු තම ග‍්‍රන්ථය මගින් ඒ වන විට විශ්වවිද්‍යාලවල එන්.ජී.ඕ. ඒජන්තයින් විසින් නිර්මාණය කොට තිබූ මතවාදයන් වන ජනවාර්ගික අර්බුදය විසඳීම, දෙමළ ජනතාවට සුවිශේෂ වූ ගැටලූව විසඳීම, බලය බෙදීම හෙවත් දේශපාලන විසඳුම ආදී වශයෙන් වන උගුල් මගහැර පය තැබීමට තම සාමාණිකයන්ට උගැන්වීය. අධිරාජ්‍යවිරෝධී අරගලය හෙවත් ජාතික නිදහස දීනාගැනීමේ අරගලයේ මූලික සටන් බිම බෙදුම්වාදීවිරෝධී දේශපාලනය සහ ඒ ආශ‍්‍රිත යුද්ධය පරාජය කිරීම බව ඔහු ඉතා පැහැදිලිව ඔප්පු කළේ ය. ඒ නිසා එදා ‘අධිරාජ්‍යවිරෝධී අරගලය තුළින් සමාජවාදයට’ යනුවෙන් ජේවීරයන් තේරූ උපායමාරර්ගික ප‍්‍රවේශය ජ. වි. පෙ. විසින් දැඩි ලෙස ග‍්‍රහණය කරගන්නේ බෙදුම්වාදීවිරෝධී මතවාදී අරගලය සහ ඒ ආශ‍්‍රිත දේශපාලන ක‍්‍රියාකාරකම් ඔස්සේය.


පැරණි වමේ දේශපාලන පක්‍ෂ සහ බලවේග විජේවීරයන් තෝරාදුන් සමාජවාදය සඳහා වන උපාය මාර්ගික ප‍්‍රවේශය පිළිගන්නේ නැත. ඊට එරෙහිව ප‍්‍රතිතර්ක ඔවුන් තියුණු ලෙස ඉදිරිපත් නොකළ අතර තම ස්ථාවරයන් වෙනස්කර ගත්තේ ද නැත. ඔවුන් අධිරාජ්‍යවාදයේ මහා බලපෑම නොසලකා හරිමින් අධිරාජ්‍යවාදයේ දේශීය ඒජන්තයින්ට එරෙහිව පමණක් පංති බලවේග මෙහෙය වීය. ඔවුන් අධිරාජ්‍යවාදී බෙදුම්වාදී කුමන්ත‍්‍රණය ජනවාර්ගික අර්බුදයක් ලෙස අර්ථ ගැන්වීය. එපමණක් නොව ඔවුන්ගේ ඊනියා පංති සටන තුළ ලෝක බැංකුව වැනි අධිරාජ්‍යවාදී ඒජන්සි ආයතන සහ බහුජාතික සමාගම්වල මහා ක‍්‍රියාකාරිත්වය නොසලකා හරිමින් එම ආයතනවල නිවට කීකරු ගෝලයන් සේ ක‍්‍රියාකරන පාලක පංතියට එරෙහිව පමණක් සටන් දියත් කළේ ය. ‘පාන්පිටි මිල අඩුකරනු’ යන සටන් පාඨය තුළින් ගම්‍ය වන්නේ,‘විදේශීය පාන්පිටි සමාගමට අත නොතබනු’, ‘ඇමෙරිකානු ගොවියාට සහානාධාර දෙනු’, ‘දේශීය ගොවියා වලපල්ලට යවනු’’ යන්න බව මේ පංති සටන් බලවේග හඳුනා ගන්නේ නැත. පංති සටන නිර්මාණශීලීව අධිරාජ්‍යවිරෝධී අරගලය තුළ ස්ථානගතකර ගැනීමට පැරණි වමේ බලවේගවලට නොහැකි විය. එනිසා ඊනියා වමේ බලවේග අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණයේම කොටසක් හෙවත් ප‍්‍රශ්නයේම කොටසක් බවට පත් විය.


පැරණි වමේ බලවේග, අධිරාජ්‍යවාදී බෙදුම්වාදී කුමන්ත‍්‍රණයට පක්‍ෂපාතී හෝ හිතවාදී  ස්ථාවරයක සිටිනවාට අමතරව තම ඊනියා පංති සතුරන්වන අධිරාජ්‍යවාදී  දේශීය ඒජන්තයින් වන පාලක පංතිය සමග ද එකට සිටගන්නේ මේ පටලවා ගැනීම් නිසා ය. ඔවුන්ගේ උපාය මාර්ගික පටලැවිල්ලට ප‍්‍රධානම  හේතුව මාක්ස්වාදී  ඉගැන්වීම් දේශීය ආර්ථික, සංස්කෘතික, සමාජීය සහ ඓතිහාසික සාධකවලට සාපේක්‍ෂව නිර්මාණශීලීව අර්ථකතනය කරගැනීමට අපොහොසත් වීම බව ඉතා පැහැදිලිය. විජේවීර නැමැති දේශපේ‍්‍රමී මාක්ස්වාදියා ඔවුන්ගෙන් වෙනස් වන්නේ ඔහු ඒ මූලික ප‍්‍රශ්නය බේරා ගැනීමට නිර්මාණශීලී වීම නිසා ය. එදා පංති සටන, අධිරාජ්‍යවිරෝධී අරගලය හෙවත් එහි දුෂ්ට ප‍්‍රකාශනය වන දෙමළ  බදුම්වාදයට එරෙහි අරගලයට යටත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සමත් විය. එසේ නැතහොත් පංති සටන මහා අධිරාජ්‍යවිරෝධී අරගලයේම කොටසක් මිස ඉන් වියුක්තව පවතින දෙයක් නොවන බව ඔවුන් ක‍්‍රියාවෙන් ඔප්පු කළේ ය. 
ඒ නිසා එම නිරවුල් උපාය මාර්ගික ස්ථාවරයන් තුළ සියලූ ජාතිකවාදී , අධිරාජ්‍යවිරෝධී බලවේග සමග නිශ්චිත අරමුණක් යටතේ සන්ධානගත වීම එදා යුගයේ ප‍්‍රධාන  දේශපාලන ක‍්‍රියාමාර්ගය හෙවත් උපාය මාර්ගික තේරීම බවට පත් විය. 1988දී  ප‍්‍රජාතන්ත‍්‍රවාදී  ජාතික පෙරමුණ හරහා සිරිමාවෝ  බණ්ඩාරනායක මැතිනිය සමග සන්ධානගත වීමට විජේවීරයන් නිර්භයව තීනදු කරන්නේ ඒ අනුව ය. එම ක‍්‍රියාමාර්ගය හෝ උත්සාහය උපක‍්‍රමික ප‍්‍රවණතාවක් ලෙස පමණක් හැඳින්වීමට සමහරුන් උත්සාහ කළත් එය මූලික උපායමාර්ගයට අදාළ ප‍්‍රධානතම උපක‍්‍රමික තීනදුවක්  බව පැහැදිලි ය. එදා විවිධ පුද්ගල සාධක සහ සාකච්ඡා  ක‍්‍රියාවලිය තුළ සදු වූ තාක්‍ෂණික දුර්වලතා නිසා එම සන්ධාන සකච්ඡා බිඳ වැටුණු බව ප‍්‍රකාශවුණත් ඇත්ත ඊට වඩා වෙනස් බව බෝහෝ දෙනෙකු දන්නේ නැත. ඇත්ත වශයෙන්ම එදා ඒ සන්ධානය බිහිවීම වැළැක්වීමට මෑත කාලීනව ජනතා විමුක්ති පෙරමුණ තුළ විවිධ ගැටුම් නිර්මාණය කළ පිරිසට සමාන පිරිසක් එදාද ක‍්‍රියාත්මක විය. එදා ශිෂ්‍ය මනසින් ක‍්‍රියා කළ යම් අතිධාවනකාරී නායකයන් පිරිසක් එම සාකච්ඡා කඩාකප්පල් කිරීමට ක‍්‍රියාකොට ඊට උපායික වරදක් නිවැරදි කිරීමේ ලේබලය  ඇලවීය. නමුත් ඇත්ත වශයෙන්ම එදා ඒ සන්ධානය වැට්ටවීම හෝ ප‍්‍රතික්ෂේප කිරීම ඉතා පැහැදිලිවම උපායමාර්ගික පටලවා ගැනීමකි. 
අද මෙන්ම එදා ද අන්තවාදී  ශිෂ්‍ය මනසින් ක‍්‍රියා කළ  නායකයින් කිහිපදෙනෙකු රෝහණ විජේවීරයන්ගේ උපායමාර්ගික ක‍්‍රියාමාර්ගය අවුල් කළේ ය. අද මෙන්ම එදා ද සෝමවංශ අමරසිංහ  මහතා ඝෘජු තීනදුවක නොසිට බහුතරයේ පැත්ත ගනිමින් ඊට සහය විය. වෙනත් වචනවලින් කියන්නේ නම් ඔහු අද මෙන්ම එදා ද දේශපාලන මණ්ඩලයට  අධි වේගයෙන් පැමිණි අත්දැකීම් නැති ‘‘ශිෂ්‍ය නායකයන්ගේ’’පැත්ත ගත්තේ ය. (මේ නිශ්චිත මොහොතේ නම් එවැනි පිරිස් ඔහු හැර යෑමට පටන් ගෙන  ඇත. ඇත්ත වශයෙන්ම එදා විජේවීරයන් දැඩි මතයක සිට කටයුතු කළේ නම් ජනතා විමුක්ති පෙරමුණ දෙකඩ විය යුතුව තිබුණි. එසේ නැතහොත් අනෙක් පාර්ශ්වය දැඩි  අරගලයක් තුළ යටත් කිරීම හෝ දිනා ගැනීම කළ හැකිව තිබුණි. නමුත් ඔහුට එදා තිබූ පක්‍ෂ තහනම සහ බිහිසුණු මර්දනය තුළ තම නායකත්ව පෞරුෂයෙන් උපරිම ඵල නෙලා ගැනීමට නොහැකි විය. අවසානයේ ජීවිත දහස් ගණනක් නිරපරාදේ බිලිදීමට සදු විය. කෙසේ වෙතත් ඒ උපායමාර්ගික පටලැවිල්ල නිසා හෝ උපාය මාර්ගය තුළ සදුකළ ප‍්‍රබල උපායික වරද නිසා මහා විනාශයක් සහ පරාජයක් අත්පත් වුවද ජනතා විමුක්ති පෙරමුණ තම මූලික උපායමාර්ගික තේරීම ඒ තුළ ප‍්‍රතික්ෂේප කළේ නැත. 


1988 දී  සදු වූ ඒ වරද තවදුරටත් පැහැදිලි කරන්නේ නම් එදා සදු වූයේ, ‘‘අධිරාජ්‍යවිරෝධී අරගලය තුළින් සමාජවාදයට’’ යන උපායමාර ඣගික ප‍්‍රවේශය තුළ අධිරාජ්‍යවාදයට එරෙහිව, සියලූ ජාතික බලවේග එකතු කරනවා වෙනුවට පන්ති බලවේගය හෙවත් පක්‍ෂ බලවේගය තනිව සටනට තල්ලූ කිරීම ය. ඊට අමතරව ජේ. ආර්. ජයවර්ධන සහ ආර්. පේ‍්‍රමදාස යන දේශීය ධනපති නායකයින්  ක‍්‍රියාකරන්නේ අධිරාජ්‍යවාදයේ නියෝජිතයින් ලෙස නොව හුදකලා ධනපති පාලකයින් හෙවත් හදු පන්ති සතුරන් ලෙස පමණක් බව තේරුම් ගැනීම ද ඒ පටලවා ගැනීමට හේතු විය. මෙය එක්තරා ආකාරයකට පක්‍ෂයේ යම් බලවේගයක් විජේවීරයන්ගේ ඉගැන්වීම් ප‍්‍රතික්ෂේප කිරීමක් ලෙස ද අර්ථ දැක්විය හැක. ඒ  ආකාරයට උපාය මාර්ගික බෝඞ් ලෑල්ල තබාගන්නා අතර හැසිරීම ඊට පටහැනිව සදුවීමට බලපෑ හේතු අතර ප‍්‍රධාන එකක් වන්නේ අද මෙන්ම එදා ද ජනතා විමුක්ති පෙරමුණ තුළ අතිධාවනකාදී  ශිෂ්‍ය නායකයින්ට අධිවේගයෙන්  ඉහළට ඒම සඳහා පක්‍ෂ සංවිධාන ක‍්‍රමවේද සහ සංස්කෘතිය තුළ බරපතල ඉඩකඩක් විවර වී තිබිම ය.


කෙසේ වෙතත් 1988 තීරණාත්මක කඩඉමක් වූ  ජනාධිපතිවරණය වෙත පැමිණීමට පෙර 1987 ඉනදු ලංකා ගිවිසුම අත්සන් කිරීමේ සිට ඒ දක්වා පැමිණි ගමන තුළ විජේවීරයන් පක්‍ෂය තුළ තම උපායමාර්ගික ප‍්‍රවේශය තහවුරු කිරීමට සමත් විය. එදා පුළුල් ජාතික බලවේග සමග විධිමත්ව සහ සංවිධානාත්මකව සන්ධානගත වීමේ ‘‘පෙර ක‍්‍රියාවලිය’’ තුළ ඉනදු ලංකා ගිවිසුමට එරෙහිව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සටනට කැඳවා ගැනීමට ඔහු සමත් විය. ඒ සුවිශේෂී සටන් එකතුව නිසා සමස්ත සමාජය තුළ බදුම්වාදී  විරෝධී මතවාදී රැුල්ලක් ගොඩනැ`ගීමට ඔහුට හැකි විය. එහෙත් එය හරයෙන් පුළුල් අධිරාජ්‍ය විරෝධී ජනරැුල්ලක් නොවූ බව අප පිළිගත යුතු ය.කෙසේ වෙතත් ජීවිත පරිත්‍යාග යෙන් ඉතා දැඩි ස්ථාවරයක සිට ඉනදු ලංකා ගිවිසුමට සහ බලය බෙදීමේ ක‍්‍රියාවලියට විරුද්ධ වීම නිසා බදුම්වාදය නැමැති අධිරාජ්‍යවාදී  කුමන්ත‍්‍රණයට එක දශමයකින් හෝ යටත් නොවිය යුතුය, ඉඩ නොදිය යුතුය යන ස්ථාවර එදා ජනතා විමුක්ති පෙරමුණේ ඇට මදුලූ තුළට කාවැද්දවීමට විජේවීරයන් සමත් විය. එදා ඔහු එසේ කිරීමට සමත් වූයේ තිනම් ජනතා විමුක්ති පෙරමුණ නැවත නැ`ගීසිටිමේදී  ඒ මනෝභාවය පක්‍ෂය තුළ දැඩි  ලෙස වර්ධනය වන්නේ නැත.   

එදා 1994දී  ජවිපෙ නැවත නැගිටීමෙන් පසුව බදුම්වාදයට එරෙහිව දැඩි ස්ථාවරයක සිට ක‍්‍රියාත්මක නොවූවා නම් ශ‍්‍රී ලාංකික ජාතියට ජාත්‍යන්තර බදුම්වාදී  න්‍යාය පත‍්‍රය පරාජය කිරීමට ඉඩ ලැබෙන්නේ නැත. නෝර්වේ රාජ්‍යය හරහා අධිරාජ්‍යවාදීන් ශී‍්‍ර ලංකාවට සහ සුඩානයට සකස් කරන්නේ 99%කින්ම එක හා සමාන මාර්ග සිතියමකි. එකම වෙනස බටහිරයන් ශ‍්‍රී ලංකාව තුළ බේදය වැපිරීමට යොදාගන්නේ දෙමළ  ජාතිවාදය වුවත් සුඩානය තුළ ඒ සඳහා ක‍්‍රිස්තියානි ආගම්වාදය යොදා ගැනීම පමණි. කෙසේ වෙතත් ඒ මාර්ග සිතියම තුළ අද වන විට සුඩානය දෙකඩ වී ඇත. ඉන්පසු දිගින් දිගටම මරා ගැනීමට ඉඩ සැලසීම සහ සම්පත් කොල්ලය නව වටයකින් ආරම්භ වී ඇත. අද වන විට සුඩානය ඒ ආකාරයට බදුම්වාදයට ගොදුරු වූවත් ශ‍්‍රී ලංකාව බදුම්වාදී  ම්ලේච්ඡ කොටි ත‍්‍රස්තවාදය පරාජය කරන්නේ මූලික වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ නැමැති සාධකය නිසා ය. 

ජාතික බලවේගයේ විවිධ  සුවිශේෂී මතවාදී  නායකයින් ( ආචාර්ය ගුණදාස අමරසේකර සහ මහාචාර්ය නලින් ද සිල්වා වැනි බුද්ධිමතුන් ) දෙමළ කොටි ත‍්‍රස්තවාදය මතවාදී ව පරාජය කිරීම සඳහා දැවැන්ත බුද්ධිමය මෙහෙයුමක් ක‍්‍රියාත්මක කළේ ය. එසේම හෙළ උරුමය වැනි දේශපාලන පක්‍ෂ සහ ඒවාට ගොනු වූ විවිධ ආගමික සංවිධාන සහ පුද්ගල චරිත ද ඒ දිශාවට සැලකිය යුතු භූමිකාවක් ඉටු කළේ ය. එහෙත් ඒ සියලූ බලවේග ප‍්‍රායෝගිකව සටන් බිමේදී  එක් දිශාවකට මෙහෙයවීම සඳහා මහා භූමිකාව ඉටු කළේ ජනතා විමුක්ති පෙරමුණ බවට සමාජය තුළ විවාදයක් නැත. 


ඒ සුඩාන - ශ‍්‍රී ලංකා මාර්ග සිතියමේ ප‍්‍රධාන සංධිස්ථානයක් වූ ‘‘චන්ද්‍රිකා  පැකේජය’’ පරාජය කළ හැකි වන්නේ, බලය බෙදීම රට බෙදීමේ ආරම්භය ලෙස ජනතා විමුක්ති පෙරමුණ ගෙන ගිය මතවාදී  මෙහෙයුමේ ප‍්‍රතිඵලයක් ලෙස ය. ඉන්පසු රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුව විසින් සටන් විරාම ගිවිසුම සහ තාවකාලික ආණ්ඩුව නැමැති මාර්ග සිතියමේ ඊළ`ග අවධිවලට  ජාතිය දක්කාගෙන යාම නැවැත්වූයේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. එසේ කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග සන්ධානගත වී එජාපය පරාජය කිරීමට තරම් දියුණු මනසක් ඇතිකර ගැනීම තුළිනි. ඒ සඳහා එදා දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය හරහා පුළුල් ජාතික බලවේග එක මිටකට එකතු කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සමත් විය. ඒ සියල්ල ජනතා විමුක්ති පෙරමුණට කළ හැකි වන්නේ ජනතා විමුක්ති පෙරමුණ නැවත නැගිටීමෙන් පසුව විජේවීර උරුමය මත ශක්තිමත්ව දෙපා තබාගෙන සිටි බැවිනි. එදා චන්ද්‍රිකා රජයේ ඇමතිකම් දැරූ ජනතා විමුක්ති පෙරමුණ සුඩාන - ශ‍්‍රී ලංකා න්‍යය පත‍්‍රයේ තවත් ප‍්‍රධාන සන්ධිස්ථානයක් වූ සුනාමි සහන මණ්ඩලයට විරුද්ධව තම ඇමතිකම් අත්හැරීමට ධෛර්වත් වන්නේත් ඒ උපාය මාර්ගික ස්ථාවරය නිසා ය. ඉන්පසු 2005 ඓතිහාසික ජනවරම නිර්මාණය කොට මහින්ද රාජපක්‍ෂ වටා ‘‘යුදවාදී බලවේගයක්’’ නිර්මාණය කිරීමට මහා දායකත්වයක් සපයන්නේ ද ඒ ස්ථාවරය නිසාය. අවසානයේ සුඩානයට අත් වූ ඛේදජනක ඉරණම ශ‍්‍රී ලංකාවට අත් නොවන්නේ ජනතා විමුක්ති පෙරමුණ ඉටුකළ ඒ සමස්ත දේශපාලන භූමිකාව තුළ ය. එහිදී මහා ජාතික බලවේගය තුළ නියෝජනය වූ සෙසු ජාතිකවාදී  බලවේග අවතක්සේරු කිරීමක් මින් අදහස් නොකෙරේ. මෙහිදී  අවධාරණය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛතම සහ නිර්මාණාත්මක භූමිකාව ඉටුකළ බව පමණි. ඒ සියල්ල එසේ නොවූයේ නම් අද ශ‍්‍රී ලාංකික ජාතිය කි. මි. 275ක දේශසිමාවේ දෙපස සිට මරා ගන්නා අවාසනාවන්තයන් පිරිසකි. 


එහෙත් අද අනුර කුමාර දිසානායක කියන්නේ කුමක් ද? ඔහු සමග එකම අරමුණක සිට එකට වැඩ කර දෙකට කැඞී ගිය පාර්ශවය කියන්නේ කුමක් ද? දැන් ඔවුන් දෙපාර්ශ්වයම රෝහණ විජේවීර උරුමය බෙදා
ගැනීමට මාරාන්තික සටනක නියැලී සිටිති. එහෙත් ආකාර දෙකකට මේ දෙපාර්ශ්වයම ඔහුගේ උපායමාර්ගික උරුමය විනාශ කරමින් සිටිති. විජේවීරයන් තෝරා දුන් මග සහ  ඔවුන් අද හැසිරෙන ආකාරය අතර පවතින පරස්පරය පදුම සහගත ය. එසේ නැතහොත් පිළිකුල් සහගත ය. ඇත්ත වශයෙන්ම ඔවුන් මතවාදී   වශයෙන් සහ සංවිධානමය වශයෙන් දෙකඩ වීමට පෙරද විජේවීරයන් තේරූ උපායමාර්ගික මග පටලවා ගෙන තිබුණි. 2005ට පෙර සිටම අනුර දිසානායක  ඇතුළු  පිරිසක් එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ රාජ්‍ය නොවන සංවිධාන ජාලයට සම්බන්ධ අධිරාජ්‍යවාදී  ඒජන්තයින් සමග එකගෙයි කෑමට පටන්ගෙන තිබුණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස රාජපක්‍ෂ විරෝධය මුල්කරගෙන යුද ක‍්‍රියාමාර්ගය අඩාල කිරීම සදහා ආණ්ඩුව වෙනස් කිරීමේ එකගතාවයක ඔවුන් පසු වූ බවද පැහැදිලිය. ඒ සියල්ලට පෙර 2005 ජනවරමින් පසුව පොදු වැඩපිළිවෙළක් යටතේ රාජපක්‍ෂ රජය සමග සන්ධානගත වීම ප‍්‍රතික්ෂේප කරන්නේ ද ඒ හේතු මතම බව දැන් ඉතා පැහැදිලි ය. මේ සියල්ල  විජේවීරයන් තේරූ උපායමාර්ගික ප‍්‍රවේශයට අමු අමූවේ පිටුපෑමකි. 


2008 වසරෙදී  විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා ප‍්‍රමුඛ 11 දෙනෙකුට ජනතා විමුක්ති පෙරමුණ හැරයාමට සදුවන්නේ ද ඒ සියල්ලේ ප‍්‍රතිඵල ලෙස ය. එදා විමල් වීරවංශ ඇතුළු පිරිස ජනතා විමුක්ති පෙරමුණෙන් එළියට පැමිණ රාජපක්‍ෂ රජය රැක්කේ නැතිනම් අද කථා කිරීමට යුද ජයග‍්‍රහණයක් නැත. ඒ සරල අංක ගණිතමය ආශ්චර්ය රටේ බොහෝ මිනිසුන්ට අමතක වී ඇතත් එය ඉතිහාසයේ වල දැමිය නොහැක. දැන් අනුර කුමාර පාර්ශවය සහ බිඳීගිය පාර්ශවය කියන්නේ එකම දෙයකි. (මෙහිදී  බිඳීගිය පාර්ශවයෙන් ඉතිරි වූ පාර්ශවය අනුර කුමාර පාර්ශවය ලෙස හැඳින්වීමට සදුවන්නේ ඔවුන්ගේ අරමුණට සාපේක්ෂව ප‍්‍රබලම භූමිකාව ඉටු කරන්නේ ඔහු බැවිනි ) බිඳීගිය පාර්ශවය ජවිපෙ සන්ධාන ඉතිහාසය වැරදි බව කියන විට අනුර කුමාර ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයා අඩියක් පෙරට තබා එය පිළිග නියි. ඔහුට අනුව චන්ද්‍රිකා සමග සන්ධාන ගැහීම, මන්ත‍්‍රීවරු 42 ක් දිනාගැනීම, එක්සත් ජාතික පක්‍ෂය පරදවා තාවකාලික ආණ්ඩු සහ සටන් විරාම උගුල පරාජය කිරීම, සුනාමි සහන මණ්ඩලය පැරදවීම, 2005 ජනවරම නිර්මාණය කොට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා යුද්ධයට තල්ලූ කිරීම ආදී  සියලූ ජයග‍්‍රහණ ඔවුනට සදු වූ වැරදීම් ය. 


එහිදී අනුර කුමාර මන්ත‍්‍රීවරයා තම කතාව සමබර කිරීම සඳහා සරත් ෆොන්සේකා මහතා සහ   එක්සත් ජාතික පක්‍ෂය සමග සන්ධාන ගත වීම ද වැරැද්දක් බව පවසයි. එහෙත් එම ක‍්‍රියාවලිය තුළ සම්බන්ධන් නැමැති ජාතිවාදියා සමග බදුම්වාදී ගිවිසුමකට අත්සන් කිරීමේ මහා දුෂ්ට පාවාදීම පිළිබඳව ඔහු තම මුනිවත රකියි. ඒ අතර ඊනියා බිඳී ගිය පාර්ශ්වය උත්සාහ කරන්නේ බදුම්වාදී මතවාදයට වක‍්‍රව පක්‍ෂ වීම මගින් කොටි හිතවාදී හා එසේ නොවන දෙමළ ජනතාව දිනාගැනීම ය. ඔවුන්ගේ ඒ පටු පංති සටන් සිහිනයෙන් ඔවුන් අවදිවන විට රට නැවත වටයකින් අධිරාජ්‍යවාදී උගුලට තල්ලූ වී හමාරවනු ඇත. දෙමළ ජාතිවාදයට සහ බදුම්වාදයට පක්‍ෂපාත වෙමින් දෙමළ ජනතාව දිනා ගැනීමට උත්සාහ කිරීම විජේවීරයන් දිවිහිමියෙන් අනුමත කළේ නැත. ඉල්මහ සමරු පවත්වමින් ව්‍යාජ ලෙස විජේවීර සමරන අතර මොවුන් සියලූ දෙනා දේශපාලන භාවිතාවෙන් කරන්නේ ඔහුගේ මුහුණට කෙළ ගැසීම සහ පපුවට පිහියෙන් ඇනීම ය. මොවුන් සියලූ දෙනා දැන් වික‍්‍රමබාහු කරුණාරත්න මහතාගේ නව සමසමාජ පක්‍ෂයට වඩා මතවාදීමය වශයෙන් සහ උපාය මාර්ගික වශයෙන් පුංචි වෙමින් ඇත. එසේම ඔවුන් අද ජාතියට ද්‍රෝහිවීමේ මානසික සූදානම්කම අතින්ද වික‍්‍රමබාහු ඇතුළු පැරණි වම අභිභවා යමින් ඇත. දැන් ඒ විෂම මනස වර්ධනය කිරීම පැවැත්මේ සාධකය බවට පත්වෙමින් ඇත.


මෑතකදී මේ ලියුම්කරුට පැරණි ජ. වි. පෙ මිතුරකු හදිස්සියේ මුණ ගැසුණි. ඔහු දුටු විගස ඔහුගෙන් ප‍්‍රශ්න කෙරුණේ දැන් ඔහු කුමන පාර්ශ්වයට අයත් ද යන්න ය. ඊට පිළිතුරු දුන් ඔහු කියාසිටි දේවල් අදහාගත නොහැකි තරම් විෂම සහ පදුම සහගත වේ. (ඔහු ඉතා දැන උගත් ඉහළ රාජ්‍ය නිලධාරියෙකි.) එහිදී හුවමාරු වූ දෙබස් මෙසේ ය.‘‘ඔබ දැන් අයිති කුමන පාර්ශ්වයට ද’’ - (ඊට පිළිතුරු නොදී ඔහු දිගින් දිගටම කියාගෙන යයි ) ‘‘මේ රටේ විරුද්ධ පක්‍ෂයක් නැහැ. ඔක්කොම ඉන්නෙ රාජපක්‍ෂලාට කඬේ යන බල්ලො,මේ රට විනාශවෙලා ගිහින් සියල්ල අලූතින් පටන් ගන්න  ඕන, විමල් වීරවංශලා වගේ එවුන්ට රාජපක්‍ෂලාට කඬේ යන එක හැර වෙන කරන්න දේශපාලනයක් නැහැ’’ මේ ලියුම්කරු විසින් ඊට ප‍්‍රතිචාර ලෙස දමා ගැසූ වදන් මෙසේ ය. ‘‘අපි රාජපක්‍ෂලාට කඬේ යන්නේ නැහැ. එත් සුද්දො උඹලා වගේ බෙන්ගාසිකාරයෝ එක්ක එකතුවෙලා ආණ්ඩුව පෙරළන්න හදුවොත් රාජපක්‍ෂලාට වඩා මහන්සිවෙලා ආණ්ඩුව රකිනවා, කොහොම වුණත් රාජපක්‍ෂලාම එකතුවෙලා තමන්ගේම ආණ්ඩුව පෙරළුවොත් අපට කරන්න දෙයක් නැහැ. උඹලා දැන් පුංචි වෙලා තියෙන තරමේ හැටියට උඹලට නම් රාජපක්‍ෂ ආණ්ඩුව පෙරළන්න බැහැ. විශේෂයෙන්ම උඹලා ජනතාව ගැන විශ්වාස කරන්නේ නැති නිසා’’ 


මේ දිනවල ජ. වි. පෙ දෙපාර්ශවයම කිසදු දිව පැටලීමකින් තොරව කියන්නේ ඊජීප්තුවේ සහ ටියුනීසියාවේ කළ ආකාරයේ ඊනියා විප්ලවයක් කරන බවයි. එහිදී ඔවුන් ලිබියාව ගැන නොකියා සිටීමට පරිස්සම් වේ. ලිබියාවේ සදු වූ දේ සහ ඊජීප්තුවේ සදුවූ දේ අතර වෙනස කුමක් ද? ඊජීප්තුවේදී අධිරාජ්‍යවාදී  රාජ්‍යතාන්ත‍්‍රික නේටෝව ඒ රටේ පාලකයින්ගේ හිසට පිස්තෝලයක් තබා බිය ගන්වා ඔවුන් එලවා දැමුවේය. ලිබියාවේදී සන්නද්ධ නේටෝව ගුවනින් සිවිල් ජනතාවට බෝම්බ දමා එරට ගල් යුගයට  ගෙන ගොස් 50,000ක් සිවිල් ජනතාවගේ මළ කඳන් මත  සිට පාලකයා ද ඝාතනය කළේ ය. ඊජීප්තුවේ පාලකයන් පලා නොගොස් ගඩාෆි ජනාධිපති මෙන් ප‍්‍රතිවිරෝධය දැක්වූවා නම් (ප‍්‍රති ප‍්‍රහාර නොවේ ) ඔවුන්ට සදුවන්නේ ද ලිබියාවට සදුවූ දේම ය. එහි අනෙක් පැත්ත එනම් ගඩාෆි ජනාධිපති ඊජීප්තු පාලකයන් මෙන් යටත් වී පලාගියානම් බෙන්ගාසි  කැරළිකරුවන් හෝ ගුවන් ප‍්‍රහාර අවශ්‍ය වන්නේ ද නැත. දැන් මේ ඊනියා විප්ලවවාදීන් විප්ලව කරන්නට යන්නේ අධිරාජ්‍යවාදීන්ගේ කරට අත දමාගෙනය. නැතිනම් ඔවුන්ගේ ආශිර්වාදය ලබා ගෙන ය. දුෂ්ටතම ක‍්‍රියාව වන්නේ මොවුන් මෙවැනි ප‍්‍රකාශ කරන අතර විජේවීරයන්ගේ අධිරාජ්‍යවිරෝධී උරුමයට ද අයිතිවාසිකම් කීම ය. කෙසේ වෙතත් මේවා පිළිබඳව දෙකේ පන්තියේ තර්ක ඔවුන් ඉදිරිපත් කරනු ඇත. අපට ඇසීමට ඇත්තේ එක් ප‍්‍රශ්නයකි. ඒ ‘‘දෙවියන්ගේ හාල් කැවිලා ද’’ යන්න පමණි. 


අනුර කුමාර දිසානායක මහතා දැන් කැඞී ගිය පාර්ශවයේ ඇත්ත නායකයා ලෙස කටයුතු කරන පුද්ගලයා විසින් පක්‍ෂය තුළ ඉහළට ගෙන ආ කෙනෙකි. ඔහු තම නායකයාට ඉතා කීකරුව වැඩ කළ අතර 2005 ජනවරමට එරෙහිව පක්‍ෂය තුළ අරගල කළේ එම නායකයාගේ උපදෙස් අනුව බව පැහැදිලිය. දැන් ඔවුන් විරසක වී දෙපසට බෙදී ඇත. ඒ අප‍්‍රසිද්ධ නායකයාට රෝ සංවිධානයේ ඔත්තුකරුවකු යයි චෝදනා එල්ලවන විට (මේ වන තුරු කිසිවකු ඒ බව සැකයෙන් තොරව ඔප්පු කොට නැත)  අනුර කුමාර දිසානායක මහතාට එක්සත් ජාතික පක්‍ෂයේ ඔත්තුකරුවකු යයි ලේබලයක් ඇල වී ඇත. ඉතා සූක්‍ෂ්මව පක්‍ෂය තුළ සෝමවංශ අමරසිංහ මහතාගේ උපාය මාර්ගික නායකත්වය දුර්වල කිරීමට ද මොවුන් කටයුතු කළ බවට එම පක්‍ෂයේම විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල වී ඇත.


සෝමවංශ අමරසිංහ මහතා විජේවීර තරමටම මහා පෞරුෂයක් සහිත සුවිශේෂී නායකයකු නොවුණත් උපාය මාර්ගික විශේෂඥයෙකි.  නැවත නැගිටීමෙන් පසුව විජේවීර උරුමය මත පිහිටා අධිරාජ්‍යවිරෝධී ජාතික බලවේග සමග සන්ධාන ගත විය යුතුය යන උපාය මාර්ගික ප‍්‍රවේශයට ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආවේ ඔහු ය. එදා 1988 දී විජේවීර - සිරිමාවෝ සන්ධාන ප‍්‍රයත්නයේදී ඔහු සිටියේ විරුද්ධ පැත්තේ ය. (හදවතින්ම විරුද්ධ පැත්තේ නොවුණත් ඊනියා බහුතරය පැත්තේ ය)  එහෙත් 2003 වන විට ඔහු තමා ඒ කළ වරද නිවැරදි කළේ ය. එහෙත් 2005 ජනවරමින් පසුව ඔහු නැවත වතාවක් ඊනියා බහුතරයට යට වී උපායමාර්ගික පීලි පැනීමට මග සැලැස්වී ය. 
ඇත්ත වශයෙන්ම දීර්ඝ කාලයක ක‍්‍රියාන්විතයක් හරහා 2005න් පසුව ක‍්‍රමයෙන් ජ. වි. පෙ තුළ සෝමවංශ පෞරුෂය බිඳවැට්ට වීමට අනුර කුමාර දිසානායක සහ ඔහුගේ නායකයා සමත් විය. විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා සහ පිරිස පක්‍ෂයෙන් නෙරපා හරින්නේ හෝ එළියට වැටෙන තැනට වැඩ සලසන්නේ ඔවුන් සෝමවංශ අමරසිංහ මහතා තේරූ උපායමාර්ගය තුළ ස්ථානගත වීම නිසා ය. එහෙත් සෝමවංශ මහතාට තමන්ගේ උපායමාර්ගික සගයා වූ විමල් වීරවංශගේ හිස ගසා දැමීම සඳහා කඩුව දෙන්නේ අනුර කුමාර  මහතා සහ ඔහුගේ ආධ්‍යාත්මික නායකයා විසිනි. දැන් සෝමවංශ මහතා ඒ වරද පිළිබඳව කනගාටුවනවාට සැකයක් නැත. යුද්ධයෙන් මේ රට නිදහස් කර ගැනීමට අදාළ උපායමාර්ගික ප‍්‍රවේශය සහ ඊට අදාළ දාර්ශනික සහ න්‍යායාත්මක පදනම  සපයන්නේ විජේවීරයන් විසින්  බව පැහැදිලි සත්‍යයකි.එහෙත් 1994 යළි නැගිටීමෙන් පසුව ඒ පදනම මත පිහිටා පක්‍ෂය උපාය මාර්ගිකව මෙහෙයවන්නේ සෝමවංශ අමරසිංහ මහතා ය. ප‍්‍රායෝගිකව ඊට අදාළ බිමේ දේශපාලන ක‍්‍රියා මාර්ගවලට ආලෝකය සැපයුවේ විමල් වීරවංශයන් විසිනි. 


යුද්ධය දිනුවේ රණවිරුවන් සහ සේනාධිනායකයා ප‍්‍රමුඛ යුද්ධයට පක්‍ෂපාත ඉහළ හමුදා නායකයන්ගේ සෘජු මෙහෙය වීමෙනි. (යුද්ධයට විරුද්ධ ඊනියා හමුදා නායකයන් සිටි බව රහසක් නොවේ )එහෙත් යුද්ධය ජය ගැනීමට සහ බදුම්වාදය මතවාදීව පරාජය කිරීමට අදාළ උපාය මාර්ගික ප‍්‍රවේශයට රට තල්ලූ කළේ ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ ජාතික බලවේග යන් විසින් බවට විශේෂ තර්කයක් අවශ්‍ය නැත. මේ උත්සාහ කරන්නේ යුද්ධයේ ගෞරවය බෙදාදීමට නොවේ. මේවා නැවත නැවත කියන්නේ අධිරාජ්‍යවිරෝධී අරගලයේදී උපායමාර්ගිකව නිවැරදිව ස්ථානගත වීම පළමු කොන්දේසිය බව තහවුරු කිරීමට ය. විජේවීරයන්ගේ ඉගැන්වීම එයයි. උපායමාර්ගය වරදවාගෙන කොතරම් කැපකිරීම් කළත්, කොතරම් මහන්සියෙන් වැඩ කළත්, කොතරම් ආදර්ශයන් දුන්නත්, කොතරම් ජීවිත කැප කළත් ඒ කිසිවකින් වැඩක්  නොවන බව ඉගෙන ගැනීමට ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය තරම් වටිනා පාඩම්, ලෝකයේ කොහෙන්වත්  සොයාගත නොහැක. 
අවසාන වශයෙන් කිව යුත්තේ ජ. වි. පෙ යම් යුගයකදී රට වෙනුවෙන් ඉටු කළ භූමිකාවට ගරු කිරීම සඳහා ඉතිහාසය ඔවුනට සමාව දෙනු ඇත. විශේෂයෙන්ම එදා ජ. වි. පෙ කුමන වැරදි කළත් රටට ද්‍රෝහි වී නැති බැවි නි. නමුත් අද වන විට  ජ. වි. පෙ රටට ද්‍රෝහී විමේ වරද සදු කරමින් සිටී. කෙසේ වෙතත් නිවැරදි වීම සඳහා කෙටි මාර්ග නොමැති අතර එය කළ හැක්කේ නායකයන් අතලොස්සකගේ අණ කිරීම් වලින් නොව බහුතර පොදු සාමාණිකයින්ගේ මැදිහත් වීමෙනි. එහෙත් 1994 යළි නැගිටීමෙන් පසුව ක‍්‍රමයෙන් පක්‍ෂය තුළ සිදු වූ සංස්කෘතික පිරිහීම්, සාමාණිකයන්ට ලබාදුන්  අධ්‍යාපනයේ දුප්පත්කම, සමහර නායකයන්ගේ පුංචිකම් සහ සමහර නා යකයන් දැනුවත්ව සිදුකළ කුමන්ත‍්‍රණ ආදී දීර්ඝ වැරදි ලැයිස්තුවක් නිවැරදි කිරීම ආශ්චර්යයක් මිස ප‍්‍රායෝගික යථාර්ථයක් යයි පිළිගැනීම අසීරු ය. යුද්ධයෙන් පසුව එළඹ ඇති යුගය ඇත්ත වශයෙන්ම යුද්ධයට පෙර යුගයට වඩා උපාය මාර්ගිකව අභියෝගාත්මක ය. එදා යුද්ධය කේන්ද්‍රීය ගැටලූව වීම තුළ යම් සීමා සහිත දාර්ශනික සහ චින්තනමය පදනමක් සහිතව වුවද ජාතිය මෙහෙයවිය හැකි විය. නමුත් පවතින ලෝක යථාර්ථය තුළ නග්න අධිරාජ්‍යවාදී ආක‍්‍රමණයට මුහුණදීමට අද සිටින අධිරාජ්‍ය වාදය විසින්ම ගොඩන`ගන ලද කෑදර මජර අධිපරිභෝජනවාදී ආත්මාර්ථකාමී මිනිසාට හැකියාවක් තිබේද ? අද නැවත වටයකින් යුද අපරාධ චෝදනා හරහා නව සුඩාන න්‍යාය පත‍්‍රයක් සහ ඊට සමගාමීව සෘජු ආක‍්‍රමණ තර්ජනයක් සහිත ලිබියා න්‍යාය පත‍්‍රයක් ශ‍්‍රී ලංකාවට එරෙහිව ක‍්‍රියාත්මක වෙමින් ඇත. බෙදුම්වාදී යුද්ධය පරාජය කළ යුගයට වඩා ගතවන සෑම දිනකම අධිරාජ්‍යවිරෝධී අරගලයේ මානයන් සහ හැඩතලයන් වෙනස් වෙමින් ඇත. ඊට එරෙහිව උඩුගං බලා පිහිනීම සඳහා දියුණු චින්තනයක් සහිත දියුණු මිනිසකු නිර්මාණය කිරීම අද යුගයේ උපායමාර්ගික අභියෝගය බවට පත් වී ඇත. 


ජ. වි. පෙ. කැඞී බිඳී යාමෙන් පසුව විසිරී සිටින, රටට ආදරය කරන එහෙත් ම`ග වරදවාගත් මිනිසුන් පටු නායකත්ව ග‍්‍රහණයෙන් මුදවාගෙන නව ජාතික බලවේගයකට එකතු කළ හැක්කේ දියුණු දාර්ශනික සංවාදයකට සමාජය මෙහෙයවීම මගින් පමණි. එසේම ඒ තුළින් නව ජාතික චින්තනයක් මතුකරගැනීම මගින් පමණි. ඒ සඳහා අපට මාක්ස්ගෙන්, විජේවීරගෙන්, කැප්පෙටිපොළගෙන්, ධර්මපාලතුමාගෙන් මෙන්ම බුදු දහමින් ද බොහෝ දේ එකතු කර ගැනීමට සිදුවනු ඇත. පූර්ව කොන්දේසිය වන්නේ නිහතමානීව සහ විවෘත මනසින් ආපසු හැරී බැලීමට දියුණු මනසක් ඇතිකර ගැනීම යි. අද ඉතිහාසය විසින් අප ඉදිරියේ නිර්මාණය කොට ඇති අවුල ලිහිය හැක්කේ එමගින් පමණි. අද වන විට වමේ අවුලක් ලෙස ප‍්‍රතිනිර්මාණය වන ඒ අවුල ඇත්ත වශයෙන්ම ජාතිය වෙළාගත් චින්තනමය සහ දාර්ශනික අවුලකි.


අවසානයේ තව එක් දෙයක් කිව යුතුය. ඒ රෝහණ විජේවීරයන්ට වැරදුනු තැනක් නිවැරදි කිරීමට අදාළවය. විජේවීරයන් තම පක්‍ෂයේ අරමුණු වෙනුවෙන් දිවි පිදීමට සූදානම්‘‘කොම්පියුටරයක්’’ නිර්මාණය කළේය. එහෙත් ඒ ශක්තිමත් යාන්ත‍්‍රික මිනිසාට තමා තුළ තිබූ මෘදු හදවත ලබාදීමට ඔහු අසමත් විය. ඔහු හැදූ ‘‘දියුණු මිනිසා’’ මනසින් සහ බුද්ධියෙන් රටට ආදරය කළත්, ඒ බිමේ දුක් විඳින මිනිසුන් මෙන්ම මහ පොළොව, සතා සීපාවා, ගහකොළ සහ ජාතියේ සංස්කෘතික උරුමය  සමග හදවතින් බැඳුනේ නැත.සිතිජයට උඩින් අහස බැලීමට සහ මහ පොළොව මත සෙමෙන්  අඩිතබා ගමන යාමට ඒ ‘‘දියුණු මිනිසා’’ ඉගෙන ගත්තේ නැත. ඒ වරද නිවැරදි කිරීම, චින්තනමය වෙනස කරවීම වැදගත් උපායමාර්ගික අවශ්‍යතාවකි.


-වෛද්‍ය වසන්ත බණ්ඩාර
2011-12-06
මේ ලිපිය කියවපු ගණන



Free Web Counter


Free Hit Counter

Related

වෛද්‍ය වසන්ත බණ්ඩාර 2186071762912945544

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item