ජනතාවට කෙසේ වෙතත් අයවැය විපක්‍ෂයට නම් හොඳයි

- සී.ඒ. චන්ද්‍රප්‍රේම ඉකුත් සතියේ කාගේත් කුතුහලයට භාජනය වූ කාරණය වූයේ උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයා අතට පත් කිරීම වුවත...

- සී.ඒ. චන්ද්‍රප්‍රේම
ඉකුත් සතියේ කාගේත් කුතුහලයට භාජනය වූ කාරණය වූයේ උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයා අතට පත් කිරීම වුවත් හැමෝගේම අවධානය යොමුවී තිබුණේ අය වැය කෙරෙහිය. උගත් පාඩම් හා සංහිඳියා කොමිසම වැනි කාරණයන් වැදගත් වන්නේ බටහිර රටවල් වලටත් මේ රටේ සිටින ජනමාධ්‍යවේදීන්ටත් පමණක්‌ විය හැක. නමුත් අය වැය මේ රටේ සිටින හැමෝටම බලපාන දෙයකි. ඇරත් අය වැයෙන් විවේචනය කිරීමට යම් දෙයක්‌ තිබුණොත් විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ කිසිදු බියක්‌ සැකක්‌ නොමැතිව එය විවේචනය කරනවා ඇත. නමුත් උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ වාර්තාව වැනි ලියවිල්ලක්‌ විවේචනය කිරීමට යමක්‌ තිබුණත් පසුගිය වකවානුවේ මෙවැනි දේ සම්බන්ධයෙන් අත පුච්චාගෙන සිටින නිසා කිසිවක්‌ කීමට මැලිවනු ඇත.

මෙවර අය වැය ඉදිරිපත් කරන අවස්‌ථාවේදී පාර්ලිමේන්තුව තුළ ගාලගෝට්‌ටියක්‌ හට ගැනීම අසාමාන්‍ය සිදුවීමකි. වඩාත්ම ජුගුප්සාජනක කාරණය වන්නේ කිසිදු හේතුවක්‌ නොමැතිව එම ගාලගෝට්‌ටිය හට ගැනීමයි. එයට පාදක වූ කාරණය මුලින්ම මතු වූයේ එජාපයේ පාර්ලිමේන්තු කණ්‌ඩායම තුළය. මෙවර අය වැය කතාව සිදුවන අතරතුර කුමක්‌ කරමුද යන්න ගැන එජාප පාර්ලිමේන්තු කණ්‌ඩායම රැස්‌වී සාකච්ඡා කළ අවස්‌ථාවේදී බොහෝ මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබුණේ අය වැය කතාවට කරබාගෙන සවන් දුනහොත් විපක්‍ෂය සිටින්නේ ආණ්‌ඩුවේ සාක්‌කුවේය යන ප්‍රචාරය තහවුරු වන බවයි. එම නිසා කුමක්‌ හෝ විරෝධයක්‌ එයට දැක්‌විය යුතු යෑයි මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත. කළුතර දිස්‌ත්‍රික්‌කයේ අජිත් පෙරේරා මන්ත්‍රීතුමා මේ කාරණය මුලින්ම මතු කළේය. මංගල සමරවීර මහතාගේ යෝජනාව වූයේ ජනාධිපතිවරයා අය වැය කියවන අවස්‌ථාවේදී ඔවුන් සභා ගැබේ සිට පුවරු ප්‍රදර්ශනය කොට ඉන්පසු සභා ගැබෙන් පිටවී යා යුතු බවයි. එවැනි දෙයක්‌ කිරීමෙන් අඩුම වශයෙන් පුවතක්‌ හෝ මැවෙන බවට සමරවීර මහතාගේ තර්කය විය. ඔහුද පවසා සිටියේ විපක්‍ෂය තම සාක්‌කුවේ සිටින බවට ජනාධිපතිතුමා තැන් තැන් වල කියා ඇවිදින බවත් එය එසේ නොව් යෑයි ජනතාවට පෙන්වීමට කුමක්‌ හෝ කළ යුතු බවත්ය. පුවරු ප්‍රදර්ශනය කොට සභා ගැබෙන් පිටවූ පසු අය වැයෙන් පසුව පැවැත්වෙන සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහයට ද සහභාගී නොවී සිටීමටත් එජාප මන්ත්‍රීවරුන් වෙනුවෙන් වෙනම තේ පැන් සංග්‍රහයක්‌ පක්‍ෂයේ මාධ්‍යය මධ්‍යස්‌ථානයේ පැවැත්වීමටත් තීරණය විය.

එජාපය විසින් මේ ආකාරයට අය වැය කතාවට විරුද්ධ වීමට තීරණය කරේ එහි අන්තර්ගතය කුමක්‌ද කියා වත් නොදැනය. එජාප පාර්ලිමේන්තු කණ්‌ඩායම තුළ සජිත් ප්‍රේමදාස මහතාගේ යෝජනාව වූයේ අය වැය කතාවට සවන් දෙන අතර තුර විරුද්ධ විය යුතු යමක්‌ ඇසුණොත් ඒ අවස්‌ථාවේදී එයට සභා ගැබ තුළම විරෝධය ප්‍රකාශ කළ යුතු බවය. නමුත් සෙසු බොහෝ දෙනෙකුගේ අදහස වූයේ අය වැය කතාවට සවන් දීමෙන්ම ආණ්‌ඩුවට විරුද්ධ නොවන්නේය යන හැඟීම ජනිත වීමට ඉඩ ඇති බවයි. ඒ අනුව බලන කල අය වැය ඉදිරිපත් කළ දිනයේදී ඇති වූ ගාලගෝට්‌ටිය අය වැයට සම්බන්ධ දෙයක්‌ නොව එජාපයේ ජාමය බේරා ගැනීමට කරන ලද දෙයකි. එයින් බේරුණේත් එජාපයේ ජාමය පමණි. විපක්‍ෂයේ සිටින දෙමළ සන්ධාන, ජවිපෙ හෝ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් හෝ එයට සම්බන්ධ වූයේ නැත.

ආණ්‌ඩුවේ අය වැයෙන් කෙරෙන ප්‍රධාන කාර්ය භාරයක්‌ වන්නේ ඉදිරි වර්ෂ සඳහා අමාත්‍යාංශවලට හා දෙපාර්තමේන්තුවලට මුදල් බෙදීමය. මේ මුදල් බෙදීම දෙස බලන විට එජාපය පාර්ලිමේන්තුව තුළ මොන රඟපෑම කළත් පැහැදිලිවම සිටින්නේ ආණ්‌ඩුවේ සාක්‌කුවේම බව පැහැදිලි වෙයි. එජාප නායක හා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ විපක්‍ෂ නායක කාර්යාලය සඳහා මෙවර අය වැයෙන් මිලියන 65 ක්‌ වෙන්කොට ඇත. විපක්‍ෂ නායක ධුරය යනු පාර්ලිමේන්තුවේ තනතුරකි. විපක්‍ෂ නායකට සමානව ආණ්‌ඩුව පැත්තෙන් සිටින්නේ සභා නායකය. සභා නායක ධුරයෙන් අගමැතිකමට ඇත්තේ තවත් එක්‌ පියවරක්‌ පමණි. රනිල් වික්‍රමසිංහ මහතාද මුල්වරට අගමැති වූයේ ඔහුව සභානායක හැටියට ජනාධිපති ප්‍රේමදාස මහතා විසින් පත්කොට තිබුණු නිසාය. නමුත් ආණ්‌ඩු පක්‍ෂය තුළ අගමැතිට පමණක්‌ දෙවැනි වන පාර්ලිමේන්තු තනතුර හොබවන සභානායක කාර්යාලයට වෙන්කොට ඇත්තේ මිලියන 24 ක්‌ පමණි. ආණ්‌ඩු පක්‍ෂය තුළ ඊළඟට වැදගත් පාර්ලිමේන්තු තනතුර වන්නේ ආණ්‌ඩුවේ ප්‍රධාන සංවිධායක තනතුරයි. ඔහුටද ලැබුණේ මිලියන 30 කි. ඒ අනුව බලන කල ආණ්‌ඩු පක්‍ෂයේ සභා නායක හා ප්‍රධාන සංවිධායක යන දෙදෙනාම එකට දැම්මත් විපක්‍ෂ නායකට තරම් අය වැයෙන් මුදල් ලැබී නැත.

වෙනකක්‌ තබා රටේ වැදගත්ම හා විශාලම වගකීමක්‌ දරන කාර්යාලයක්‌ වන ඇමැති මණ්‌ඩලයේ එනම් කැබිනට්‌ටුවේ කාර්යාලයට ද ලැබී ඇත්තේ මිලියන 82 කි. එය විපක්‍ෂ නායක කාර්යාලයට ලැබුණු මුදලට වඩා වැඩි වන්නේ අල්ප වශයෙනි. නමුත් විපක්‍ෂ නායක කාර්යාලයෙනුත්, ඇමැති මණ්‌ඩලයේ කාර්යාලයෙනුත් කෙරෙන වැඩ ප්‍රමාණය අතර ඇත්තේ අහසට පොළොව මෙන් වෙනසකි. කැබිනට්‌ටුවේ සිටින එක්‌ එක්‌ ඇමැතිවරුන් වෙන වෙනම ගත්තත් විපක්‍ෂ නායක කාර්යාලයට වඩා ඒ කැබිනට්‌ ඇමැතිවරුන්ගේ කාර්යාලවලට ලැබෙන්නේ අඩු මුදලකි. උදාහරණ කීපයක්‌ මෙහිදී ගෙනහැර දැක්‌විය හැක. රාජ්‍ය පරිපාලන හා දේශීය කටයුතු ඇමැතිවරයාගේ කාර්යාලයට ලැබුණේ මිලියන 49 කි. පළාත් පාලන හා පළාත් සභා ඇමැතිවරයාගේ කාර්යාලයට මිලියන 56 ක්‌ද, ජනමාධ්‍ය ඇමැතිවරයාගේ කාර්යාලයට මිලියන 37 ක්‌ද, අධිකරණ ඇමැතිවරයාගේ කාර්යාලයට මිලියන 31 ක්‌ද ලැබුණි. විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට වඩා මුදලක්‌ ලැබී ඇත්තේ බැසිල් රාජපක්‍ෂ මහතාගේ කාර්යාලයටත්, ජී. එල්. පීරිස්‌ මහතාගේ කාර්යාලයටත් පමණි. බැසිල් රාජපක්‍ෂ මහතාගේ ආර්ථික කටයුතු අමාත්‍යාංශ කාර්යාලයට මිලියන 78 කුත්, ජී. එල්. පීරිස්‌ මහතාගේ විදේශ කටයුතු ඇමැති කාර්යාලයට මිලියන 91 කුත් ලැබී ඇත.

විධායක වගකීම් ඇති කැබිනට්‌ ඇමැතිවරුන්ගේ කාර්යාලවලට, විපක්‍ෂ නායක කාර්යාලයට වඩා වැඩ තිබෙන බවත්, ඒ නිසාම වියදම් තිබෙන බවත් විශේෂයෙන් කිවයුතු නැත. කැබිනට්‌ ඇමැතිවරුන් යටතේ විවිධ ආයතන පවතින බව හා එම ආයතනවලට වෙනම මුදල් වෙන්වන බවත් ඒ මුදල්ද පරිහරණය කිරීමට ඇමැතිවරයාට බලය ඇති බවත් ඇත්තකි. විපක්‍ෂ නායකවරයාට ඔහු යටතේ පවතින වෙනම ආයතන නැත. මේ නිසා ඔහුගේ කාර්යාලයට වැඩිපුර මුදල් දුන්නාය යන තර්කය යමෙක්‌ ඉදිරිපත් කළහොත් එය අපට පිළිගත හැකිද? කැබිනට්‌ ඇමැතිවරුන් යටතේ වෙනත් ආයතන තිබෙන බව හා ඒ වායේ මුදල්ද පරිහරණය කළ හැකි බව ඇත්තක්‌ වුවත් එවැනි වගකීම් වැඩිවන තරමට වැඩ හා වියදම් යන දෙකම වැඩිවෙයි.

එවැනි තත්ත්වයක්‌ යටතේත් රටේ පාලනය සම්බන්ධයෙන් වගකීම් දරන ඇමැතිවරුන්ගේ කාර්යාලවලට විපක්‍ෂ නායකවරයාගේ කාර්යාලයට ලැබෙන මුදලට වඩා අඩු මුදලක්‌ දී ඇත. නමුත් විපක්‍ෂ නායක කාර්යාලයෙන් රටේ පරිපාලනය සම්බන්ධයෙන් කිසිදු කාර්යක්‌ කරන්නේ නැත. එම කාර්යාලය පවතින්නේද වැඩක්‌ කිරීමට උත්සාහ ගන්නා අයගේ කකුලෙන් ඇදීමට පමණි. නමුත් ඒ රාජකාරියවත් මේ විපක්‍ෂ නායක කාර්යාලයෙන් කෙරෙන්නේ නැති බවට එජාපය තුළින්ම මහ හඬක්‌ මතුවී ඇත. එසේ නම් බොහෝ කැබිනට්‌ ඇමැතිවරුන්ගේ කාර්යාලවලට වඩා විපක්‍ෂ නායක කාර්යාලයට මුදල් කුමටද? විපක්‍ෂ නායක කාර්යාලයට ලැබෙන මුදල හැදෙන්නේ කැබිනට්‌ ඇමැතිවරුන් දෙදෙනකුගේ පමණ කාර්යාලවල වියදම එකතු කළ විට පමණි. නමුත් විපක්‍ෂ නායකට ඇති එකම කාර්යභාරය වන්නේ ඔහුගේ දේශපාලන පක්‍ෂය මෙහෙයවීම පමණි. නමුත් මහජන මුදල් දේශපාලන පක්‍ෂයකට වියදම් කළ නොහැක. ඛනිජ තෙල් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ කාර්යාලයට ලැබෙන්නේ මිලියන 53 කි. ප්‍රේම ජයන්ත මහතා ජ්‍යෙෂ්ඨ කැබිනට්‌ ඇමැතිවරයෙක්‌ වනවා පමණක්‌ නොව පාලක දේශපාලන සන්ධානයේ මහ ලේකම් වරයාද වන්නේය. නමුත් ඔහුගේ කාර්යාලයට ලැබී ඇත්තේ මිලියන 53 ක්‌ පමණි. එයද විපක්‍ෂ නායක කාර්යාලයට ලැබෙන මුදලට වඩා අඩුය. ඉකුත් සතියේ පාර්ලිමේන්තුව තුළ ගුටි බැට හුවමාරුවක්‌ හට ගත්තේ නම් එය පටන්ගත යුතුව තිබුණේ ආණ්‌ඩු පක්‌ෂයේ කැබිනට්‌ ඇමැතිවරුන් විසිනි. ඒ "විපක්‍ෂ නායක කාර්යාලයට දෙන සල්ලිවලට සමාන ප්‍රමාණයක්‌ අපේ කාර්යාලවලටත් දියව්" කියන සටන් පාඨය යටතේය. නමුත් විපක්‍ෂ නායක කාර්යාලයට කොතරම් මුදල් බෙදුවත් කිසිදු කැබිනට්‌ ඇමැතිවරයෙක්‌ ඒ ගැන වචනයක්‌වත් කියන්නේ නැත. ඒ මන්ද යත් තමන්ට මේ ලැබෙන ටිකවත් තව සෑහෙන කාලයක්‌ දිගටම ලබා ගැනීම සඳහා විපක්‍ෂ නායකවරයාට හොඳම සැප ලබාදී තබා ගත යුතු බව දේශපාලඥයන් වශයෙන් ඔවුන්ට වැටහෙන නිසාය.

ඡේ. ආර්. ජයවර්ධන මහතා 1978 ව්‍යවස්‌ථාව හඳුන්වා දෙමින් පවසා සිටියේ මේ ව්‍යවස්‌ථාව යටතේ විපක්‍ෂ නායක ධුරයටත් කැබිනට්‌ ඇමැතිවරයකුගේ තත්ත්වය තිබෙන බවය. නමුත් එයින් ඔහු අදහස්‌ කළේ විපක්‍ෂ නායක කාර්යාලයට වැඩකරන විධායක ඇමැතිවරයකුගේ කාර්යාලයකට ලැබෙන මුදල්වලට වඩා දිය යුතු බවක්‌ නම් නොවන බව පැහැදිලිය. හරිනම් විපක්‍ෂ නායක කාර්යාලයට ලැබෙන මුදල තීන්දු විය යුත්තේ කැබිනට්‌ මණ්‌ඩලයේ කාර්ය බාරයක්‌ නොමැති ඇමැතිවරයකුගේ කාර්යාලයකට ලැබෙන මුදලට සමාන මුදලකි. නමුත් මෙතන සිදුවන්නේ වෙනම සෙල්ලමකි.

සී.ඒ. චන්ද්‍රප්‍රේම
-උපුටා ගැනීම
දිවයින
2011-11-1-28 

Related

සී ඒ චන්ද්‍රප්‍රේම 1616621729009158643

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item